මෙම පෙබරවාරි මස 03 වැනි දා කොළඹ BMICH හි දී ආරම්භ වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය මේ වන විට නොයෙකුත් සංවාදයන්ට බඳුන් වී ඇත.

එහිලා මෙම සංවාද සභාව අමතමින් එහි ප්‍රධාන දේශනය පැවැත් වූ ආචාර්ය දීපිකා උඩගම

දැක්වූ අදහස් එම සංවාදය වඩාත් ඵලදායකව ගොඩනංවීම සදහා ජව සම්පන්න ආරම්භයක් ලබා දී ඇත. පළමුව ඇය පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවලියෙහි යම් අභියෝගාත්මක තත්වයක් ඇති බව වුවද ,ඒ සමග මෙහි කාලීන වැදගත්කම ඇය ධනාත්මකව අවධාරණය කළාය.ඇය ඒ අවධාරණය කරනු ලැබුවේ 2022 අරගලයෙහි අපේක්ෂාවන් සංකේතාත්මකව මෙය පසුබිමෙහි සළකුණු කරමිනි.

මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයෙහි ධනාත්මක කරුණක් වන්නේ 2022 වසරේ සිදුවූ අරගලයත් සමග පැන නැගුණ වග වීමෙන් යුතු පාලනයක් සහ පද්ධතිමය වෙනසක් පිළිබඳ අපේක්ෂාවන් සහිත පසුබිමක මෙය දියත් වීම බැව් එහිදී ඇය කියා සිටියාය. එම ප්‍රකාශය මෙම සංවාදය තවදුරටත් පුළුල්ව ගොඩනැගීම සඳහා මනා පදනමක් සපයයි.

1948 දී සිලෝනය බ්‍රිතාන්‍ය යටත්

විජිතත්ත්වයෙන් මිදී ස්වාධීනත්වය කරා යාමට ඇරැඹී දිගු ගමන එවැනි අරගල ගණනාවකින් සමන්විත වූ බැව් මෙහිලා සිහිපත් කළ යුතුය.

1953 හර්තාලය පවා ඒ හා සමපාත මූලයන්ගෙන් සමන්විත විය.

එතැන් සිට 1971 කැරැල්ල 88,89 දිග්ගැසුණු කැරලිකාරීත්වය සහ වඩාත් දිගු කාලීනව බලපෑම් සහගත වූ උතුර නැගෙනහිර කැරලිකාරී තත්ත්වය යන මේ සියල්ල තුළ එම අපේක්ෂාවෙහි මූලයන් නොතිබුණේ යැයි කිව නොහැකිය.

පවතින තත්ත්වයෙහි පද්ධතිමය වෙනසක් පිළිබඳ අදහස ඒ සෑම මහජන අරගලයකින්ම විවිධාකාරව ප්‍රකාශයට පත් වී ඇති බැවිණි.

එහෙත් ඒ කිසිවකින් අපේක්ෂිත වෙනස පිළිබඳ අදහස නිසි පමණකින් ග්‍රහණය කර ගැනීමට හා ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට ලංකාව කොතරම් දුරට සමත් වූවේද යන ප්‍රශ්නය අද වන විට රට ඉදිරියෙහි තිබේ.

පෙනෙන්නට ඇත්තේ එම අරගල එක් තලයක සිදුවන අතර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය හෙවත් රාජ්‍යය යළි ගොඩනැගීමේ සංවාදය වෙනත් තලයක සිදුවී ඇති බවය.

2026 පෙබරවාරි 03

වැනි දා OTI පහසුකාරීත්වයෙන් යුතුව විවිධ දේශපාලන ධාරාවන්ගේ හා සිවිල් ක්‍රියාකාරිකයන්ගේ ද, විද්වත් නියෝජනයන් ගේ ද සහභාගිත්වයෙන් යුතුව ඇරඹුණු නව ආදර්ශ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි වැදගත්කම තිබෙන්නේ මේ පසුබිමෙහිය.එම අර්ථයෙන් බලන විට මෙම ආදර්ශ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය මෙරට 78 වන ස්වාධීනතා දිනයට පෙරදා ආරම්භ වීම එක් අතකින් දෛවෝපගත සිදුවීමකි. ඊට හේතුව 78 වසරකට පෙර ලංකාව දිනාගත් ස්වාධීනත්වය තුළ මේ දක්වා රටට උචිත ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට තවමත් මේ රට අසමත්ව සිටීමය.

මෙි හේතුව මත,1948 ස්වාධීනතාව දිනා ගැනීමෙන් ,පසු තමන්ට උචිත නූතන රාජ්‍ය ගොඩනගා ගැනීමට ගැනීමට අසමත් වූ බවට නැගෙන චෝදනාවෙන් ශ්‍රී ලංකාවට නිදහස් වීමට නොහැකිව ඇත.ඊට හේතු කිසිවෙකුගේ පුද්ගලිකත්වය මත නොසොයා සමාජ දේශපාලන සන්දර්භය තුළ සෙවිය යුතුව ඇත.

එම ගවේෂණය ගැඹුරු සහ පුළුල් සංවාදයක් ලෙස ගොඩ නැගිය යුතුය.

එබැවින් මේ නිදහස් දිනය ඒ ඓතිහාසික නොහැකියාවට හේතු වටහා ගනිමින් අනාගතය නිවැරදි කර ගැනීමට මග සොයන දිනයක් ලෙස සැලකීම වඩා නිවැරදිය.

සාර්ථක ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාමාර්ග පිළිබඳ ජාතික ඉතිහාසය තුළ මෙන්ම, ලෝක මට්ටමේ අත්දැකීම් ද අපමණවත් ඇති අතර අසල්වැසි ඉන්දියාවම වුව ඒ සඳහා යම් මාර්ගෝපදේශයක්

සපයයි.

අතිශය පුළුල් ජන විවිධත්වයක් සහිත ඉන්දියාවේ සෑම ජනකොටසකටම සාධාරණව හා සමානාත්මයෙන් සලකන සමාජ ක්‍රමයක් බිහිකිරීමට ඉවහල් වන ව්‍යවස්ථාවක් ගොඩනැගීම එම ව්‍යවස්ථා ක්‍රියාවලියට නායකත්වය දුන්

බීම්රාවෝ අම්බෙඩ්කාර් ගේ අරමුණ විය.

තත්කාලීන ඉන්දියානු සමාජයේ පැවති හින්දු ආධිපත්‍ය නොතකා ආගමික නිදහස පිළිගන්නා අතර කුලවාදය නොතකන සමාජයකට මග කියන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ඔහු සමත් විය.

රටකින් රටකට මුහුණ දෙන ගැටලු එකිනෙක වෙනස් විය හැකි නමුත් බොහෝ අභියෝගයන්හි තේමාව එකමය.

වාර්ගික, ආගමික , හා සංස්කෘතික බැහැර කිරීම් එබඳු එක් පොදු තේමාවකි.අම්බෙඩ්කාර් එම අභියෝගයට මුහුණ

දුන්නේ පැවති සියලු බැහැර කිරීම් ප්‍රතික්ෂේප කොට විවිධ අනන්‍යතාවන්ට ඉඩ දෙමින් ඒ සියල්ල ඇතුළත් කරගන්නා (inclusive) ප්‍රතිපත්තියක පිහිටා සිටිමිනි.

ඉන්දියානු ව්‍යවස්ථා අත්දැකීම අරභයා ආචාර්ය දීපිකා උඩගම

තම අදහස් දැක්වීමේදී එක් අවස්ථාවක මෙසේ

කීවාය.

"ව්‍යවස්ථාවක් දිගු කලක් පැවතීමට නම් ජනතාවට ඒ පිළිබඳව හැඟීමක් හා බැඳීමක් තිබිය යුතුයි.ඉන්දියානු ආණ්ඩු ක්‍රමය ඒ සඳහා එක් උදාහරණයකි."

ඊට වෙනස්ව ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙරට ජනතාවට දැනෙන්නේ තමන්ට අදාළ නොවන ආගන්තුක ලියවිල්ලක් ලෙස බවද ඇය වැඩිදුරටත් එහිදී කීවාය.

එසේ නම් මේ මොහොතේ ශ්‍රී ලාංකේය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙහි ද අවධානය යොමු විය යුත්තේ ජනතාවගේ හැඟීම් සමග බැඳීමක් ඇති ව්‍යවස්ථාවක් ගොඩ නගන්නේ කෙසේද යන ප්‍රශ්නය කෙරෙහිය.

වැඩසටහන අතර පැවැති විද්වත් සභාවට සහභාගී වූ එක් සම්පත් දායකයකු ලෙස හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල එම කරුණ වෙනත් මානයකින් පැහැදිලි කළේ "ජනතාවගේ හදගැස්ම ව්‍යවස්ථාව තුළ නිරූපණය වන්නේ නැත්නම් හුදු ලේඛනගත කිරීම නිරර්ථක වන" බව කියා සිටිමිනි.

මේ ආකාරයෙන් ආචාර්ය උඩුගම සඳහන් කළ පරිදි ව්‍යවස්ථාව පිළිබඳ ජනතාව අතර හැඟීමක් හා බැඳීමක් ඇති කිරීමත්, හිටපු අමාත්‍ය ගම්මන්පිල සඳහන් කළ පරිදි ජනතාවගේ හදගැස්ම ව්‍යවස්ථාව තුළ නිරූපනය කිරීමත් එක් රැයකින් ජයගත හැකි අභියෝගයක් නොවේ.

ආණ්ඩුව තවමත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනුගමනය කරන නිහඬ පිළිවෙත සාර්ථක ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමයක් සඳහා යන ගමනේදී ගැටලු සහගත වන්නේ එබැවිණි.

එබඳු සාර්ථක ක්‍රියාදාමයක් සඳහා නම්, ප්‍රමාණවත් කාලයක්ද, පුළුල් සහභාගිත්වයක් ද, විවිධ ක්ෂේත්‍ර අතර කරන නිදහස් සංවාදයක් ද අවශ්‍ය වන නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් නම් තවම එවැනි සූදානමක් පෙන්වන්නේ නැත.

සාර්ථක ව්‍යවස්ථා සම්පාදනයක් කළ රටවල් බොහෝ විට ගුරුවරුන්, ගොවීන් හා වෘත්තීය සමිති නියෝජිතයින් වැනි විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ගෙන් සැදුම්ලත් තෝරාපත් කරගත් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල (constitutional Assemblies) පිහිටුවා ගත් බව ආචාර්ය උඩුගම තම අදහස් දැක්වීමේදී පැහැදිලි කරයි.

OTI පහසුකාරීත්වයෙන් ඇරඹුණු ආදර්ශ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වඩා අර්ථවත් වන්නේ එවැනි සංවාදාත්මක ක්‍රියාදාමයකට මෙමගින් පසුබිම සකස් වන බැවිණි .

වසරක ඇවෑමෙන් ආදර්ශ ව්‍යවස්ථාවක් ගොඩනැගීම එම ක්‍රියාදාමයේ අරමුණ වන අතර ඒ ආශ්‍රිතව ගොඩනැගෙන ඉහත සංවාදය මහජනයා අතර නව දැනුමක් හා ආකල්පමය උද්යෝගයක්, ගොඩනැගීමටද ඉවහල් වෙි. යෝජිත ව්‍යවස්ථාව තරමටම ඒ ආශ්‍රිතව ගොඩනැගෙන මෙකී සංවාදයද පුළුල් සමාජ දේශපාලන ජයග්‍රහණයක් වනු නිසැකය.

- චන්ද්‍ර භානු.