ඉන්දියාවේ ව්‍යවස්ථා වීරයා ;

බීම්රාවෝ අම්බෙඩ්කාර්

ශ්‍රී ලංකාව සඳහා උචිත ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය විවිධ මානයන් ඔස්සේ තවදුරටත් ඉදිරියට විකාශනය වෙමින් තිබේ.එහිදී මෙරට ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියෙහිලා පාදක කරගත හැකි ජාත්‍යන්තර තළයේ මාර්ගෝපදේශයන් කවරේදැයි විමසා බලන විට ශ්‍රී ලංකාවෙහි අසල්වැසියා වන ඉන්දියාව ඉදිරියෙන්ම සිටින සිටින බව නිරීක්ෂණය වේ.ඉන්දියාවේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් - ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් ⁣පිළිබඳ සඳහනකින් තොරව ඉදිරියට ගෙන යා නොහැකිය.ව්‍යවස්ථාපිත මූලධර්මයක් ලෙස ලෞකිකවාදය සඳහා නව ප්‍රවේශයක අවශ්‍යතාව පිළිබඳ සංවාදයකට මුල පුරන සටහනක් නීතිඥ ශිරාල් ලක්තිලක විසින් තබන ලදුව , මෙහි පළකිරීමට නියමිත අතර ඊට ප්‍රවේශයක් ලෙස ආචාර්ය අම්බෙඩ්කාර් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහත පළ කෙරේ.

................

ලොව කොතැනක වුව ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක දී අවධානය යොමු විය යුතු චරිතයක් වන්නේ ඉන්දියාවේ ව්‍යවස්ථා වීරයා ලෙස සැලකිය හැකි බීම්රාවෝ අම්බෙඩ්කාර් ය.ඔහු ව්‍යවස්ථා විරුවකු වන්නේ ඒ සඳහා පළමුව, ඔහුට දැක්මක් තිබූ බැවිනි. එමෙන්ම ඒ සදහා ඔහුට ගැඹුරු අධ්‍යයනයක් තිබූ බැවිනි. ඒ සියල්ල මත ඔහු ඉන්දියාවට අවශ්‍ය කුමක්දැයි හඳුනාගෙන තිබූ බැවිණි.ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාව ලොව දීර්ඝතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහිත රාජ්‍යය ද වන්නේය. එමෙන්ම එය වඩාත් ප්‍රශස්ත ව්‍යවස්ථාවක් ලෙස ද පිළිගැනේ. බීම්රාවෝ අම්බෙඩ්කාර් වීරයෙක් ලෙස ඉන්දියානුවන්ගේ බුහුමනට පාත්‍ර වන්නේ එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වූ බැවිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් නොව අසෝක ස්ථම්භයේ ඇති ධර්මචක්‍රය සහිත ඉන්දීය ජාතික ධජයේ සහ අසෝක ස්ථම්භයේ සිංහ හිස දැක්වෙන ඉන්දීය රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරයා වන්නේ ද අම්බෙඩ්කාර්මය. ඔහු නීතිවේදියෙක් , බුද්ධිමතෙක් මෙන්ම දේශපාලනඥයෙකි. කුලහීනයෙක් ලෙස විඳි අපමණ පීඩාවන් කෙළවර සෙසු කුලහීන ජනයා ද ඉන් මුදාගනිමින් මියයාමට කෙටි කලෙකට පෙර ඔහු බෞද්ධයෙක් වූයේ ද හුදු ආගමක් වැළඳගැනීමක් වශයෙන් නොව එම දර්ශනය වටහා ගනිමින් හා සමානාත්මතාව අර්ථවත් වීම ද සැළකිල්ලට ගනිමිනි. 1947 දී ඉන්දියාව නිදහස( ඩොමීනියන්) ලැබීමත් සමඟ පත්වූ එරට පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ රජයේ නීතිකටයුතු අමාත්‍යවරයා ලෙස පත්කෙරුණේ අම්බෙඩ්කාර්ය. ලැබූ නිදහසට දෙසතියක් ගතවන විට අගමැති නේරු , අම්බෙඩ්කාර් අමාත්‍ය වරයා වෙත භාරදූර වගකීමක් පවරමින් ඉල්ලාසිටියේ , නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් කෙටුම්පතක් සකසන ලෙසය.ඒ වෙනුවෙන් සත්පුද්ගල කමිටුවක් පත්කළ අතර , එහි සභාපති වූයේ , අම්බෙඩ්කාර්ය.

කුලහීන යැයි සම්මත පවුලක උපත ලබා කුලවාදයෙන් පීඩාවට පත්වූ අම්බෙඩ්කාර් ළමා වියේ පටන්ම එහි ඇති අමානුෂීය හා අසාධාරණ බව හොඳාකාර අත්වින්දේය. සෑම ජනකොටසකටම සාධාරණව හා සමානාත්මතාවයෙන් සලකන සමාජක්‍රමයක් බිහිකිරීම වෙනුවෙන් ඔහු කැපවූයේ , එම ප්‍රායෝගික අත්දැකීම් ද සහිතවය. ඊට අවශ්‍ය බලය ලැබීමත් සමඟ ඔහු වෙහෙස නොබලා දෙවසරක් ඒ වෙනුවෙන් කැපවිය . ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ බහුතරය හින්දූන් මෙන්ම ඉහළ කුල නියෝජනය කළ අය වුව ද ඒ කිසිවෙක් ඊට අකුල් හෙළුවේ නැත. කමිටුවේ මූලිකයා ලෙස කටයුතු කරන්නැයි අම්බෙඩ්කාර්ගෙන් ඉල්ලා සිටියේ ද ඔවුන්ය. නව ව්‍යවස්ථාව ව්‍යවස්ථාදායකය හමුවේ ඉදිරිපත් කරමින් , 1949 නොවැම්බර් 25 වැනිදා අම්බෙඩ්කාර් කළ ඓතිහාසික කතාවේ දී ඔහු සඳහන් කළේ , මෙහි ගෞරවය තමන්ට පමණක් නොව සෙසු කමිටු සාමාජිකයන්ට ද අත්විය යුතු බවය. විශේෂයෙන් ව්‍යවස්ථාදයක සභාවේ උපදේශක රාඕ ට ද ඔහු එම ගෞරවය පිරිනැමීය. මෙම ව්‍යවස්ථාව ප්‍රකට වූයේ , "අම්බෙඩ්කාර්ගේ ව්‍යවස්ථාව "යනුවෙනි.

ඔවුන් එක්ව පිළියෙල කළ නව ඉන්දීය ජනරජ ව්‍යවස්ථාව ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් පුළුල් අයුරින් සුරැකෙන අන්දමේ ව්‍යවස්ථාවකි. එය පුද්ගලයන්ගේ ආගමික නිදහස පිළිගත් අතර , කුලවාදය ප්‍රතික්ෂේප කළේය. සමාජයේ කවර ජනකොටසක් සම්බන්ධයෙන් වුව බලපවත්නා සියලු ආකාරයේ නොසළකා හැරීම් , බැහැර කිරීම් ආදිය ඉන් ප්‍රතිකේෂ්ප කෙරිණි. ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අම්බෙඩ්කාර් නැඟුහඬ නව ව්‍යවස්ථාවෙන් මූර්තිමත් විය. ඉන්දියාව ස්වෛරී , ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් බවට ප්‍රකාශයට පත්වූයේ , 1949 නොවැම්බර් 26 වැනිදා නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟය. අම්බෙඩ්කාර් නව ව්‍යවස්ථාව හඳුන්වා දෙමින් පැවසුවේ , ඉන්දියාව වර්ණවත් කරන්නා වූ ඉහළම සැරසිල්ල වනු ඇත්තේ , ප්‍රජාතන්ත්‍රවාදය බවය. අම්බෙඩ්කාර් සම්පාදනය කළ Annihilation of Cast (1936) ඔහු සඳහන් කරන්නේ , " ප්‍රජාතාන්ත්‍රවාදය යනු හුදෙක් ආණ්ඩුවක් පිහිටුවීමම නොවෙයි.එය අවශ්‍යයෙන්ම ජනයාගේ ආකල්ප පිළිබඳ කාරණයක්.සෙසු සහෝදර මිනිසුන් කෙරෙහි ඇති ගෞරවය ඉන් පිළිබිඹු විය යුතුය..." ව්‍යවස්ථාවේ 14 - 15 වගන්ති මඟින් ද එම පුළුල් අදහස් අරුත්ගැන්වේ. ව්‍යවස්ථාවේ 32 වැනි වගන්තිය මඟින් පිළිගෙන ආරක්ෂාකර ඇති මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ හදවත ලෙස සැලකේ. ඒවා උල්ලංඝනය වන්නේ නම් ඕනෑම ඉන්දියානුවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකිය. අධ්‍යාපනයේ වැදගත්කම ද ව්‍යවස්ථාවෙන් පිළිගැනීමට ලක්වේ.අම්බෙඩ්කාර් පැවසූ පරිදි , ඉන්දීය සමාජය ඉදිරියට රැගෙන යන්නා වූ රෝද වනවා ඇත්තේ , අධ්‍යාපනයක් ලැබූ තැනැත්තන්‍ ය. සමාජ වෙනස්කම් කිරීමට හා අවශ්‍ය බලගැන්වීම් කිරීමට හැකියාව හා ශක්තිය ඇත්තේ ද නැවුම් අදහස් මතුකළ හැකිවන්නේ ද එබඳු අයට බව ඔහු පෙන්වා දුන්නේය. ඊට අම්බෙඩ්කාර් ම වුව මනා නිදසුනකි. කුලහීනයෙක් වීම හේතුවෙන් පාසල් අධ්‍යාපනය ලැබීමේදී පවා බොහෝ කොන්කෙරුණ ද වරප්‍රසාද අහිමි වුව ද අදටත් ඉන්දීය සමාජය ගරුකරන බුද්ධිමතෙක් ලෙස ඔහු ඉහළට පැමිණියේ , ඉහළම අධ්‍යාපනයක් ලැබීම හේතුවෙනි. අම්බෙඩ්කාර්ගේ මූලික සටන්පාඨයක් වූයේ ද අධ්‍යාපනය , උද්ඝෝෂණය හා සංවිධානවීමය. පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද ඇමුණුම් මඟින් අධ්‍යාපන අයිතිය වඩාත් තහවුරු වූ අතර , ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළියෙල කිරීමේ දී ඉන්දියාව මුල්කොටගත්තේ ද අම්බෙඩ්කාර්ගේ දැක්මය.

රෝගීව සිටිමින් වුවද අම්බෙඩ්කාර් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් මුළුමනින්ම කැපවිය. වරින්වර දින 100 කටත් වඩා ඔහු ව්‍යවස්ථාදායකය හමුවේ ඒ ගැන කරුණු දැක්වීමට පෙනී සිට ඇත්තේය. ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් වූ සංශෝධන සහිත ඇමුණුම් 7500 කින් පමණ 2500 ක් බාරගෙන සැලකිල්ලට ලක්කර තිබිණි. අම්බෙඩ්කාර් පැහැදිළිව සඳහන් කළ පරිදි , ඉන්දීය ව්‍යවස්ථාව කුලහීන ප්‍රජාව ගැන පමණක් නොව , කාන්තාවන් ගැනද , අනෙකුත් ආගමික ප්‍රජාවන් ගැන ද සාධාරණව බලමින් හඬක් නැති අයට හඬක් වී තිබේ. ඔහු අවධාරණය කළේ , " ඉන්දියානුවන් වශයෙන් අප කිසියම් විශේෂිත ප්‍රජාවකට යටහත් පහත්ව හා පක්ෂපාතීව සිටීම වෙනුවට මට අවශ්‍ය කරන්නේ සෑම ඉන්දියානුවෙක්ම පළමුව ද අවසන ද ඉන්දියානුවන්ම වීමය. අන්කිසිවක් නොවේ එපමණක්මයි..." අම්බෙඩ්කාර් මුල්ව බිහිකළ ඉන්දියානු ව්‍යවස්ථාවේ හරය වශයෙන් පෙනෙන්නේ මනුෂ්‍යත්වයයි. ඉන් බිහිකිරීමට අපේක්ෂා කළ සමාජය ද මනුෂ්‍යත්වය මත පදනම් වූ සමාජයකි. යම් හෙයකින් එම මූලික අරමුණු වලින් එය බැහැර වන්නේ නම් , එම ව්‍යවස්ථාව මුලින්ම ගිනිබත් කරනු ඇත්තේ තමන් බව ඔහු වරෙක ප්‍රකාශ කර ඇත්තේ ද එම මූලධර්ම එය දරාසිටින්නා වූ කුලුනු වන බැවිනි. මේ වනවිට අපේ රටේ ද නැවතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය මතුවෙමින ඇති පසුබිමක අම්බෙඩ්කාර් හා ඔහුගේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගැන කියැවීමෙන් එම සංවාදය වඩාත් පෝෂණය කිරීමට හැකිවනු ඇති.