ඩෙංගු වසංගතය පිටුදැකීම සඳහා ප්‍රාදේශීය ආණ්ඩුවල වගකීම සහ වගවීම.

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය සෑම වසරකම මාස කීපයක් ප්‍රබල ලෙසත් වසර පුරා සාමාන්‍ය ලෙසත් මහජන සෞඛ්‍යයට බරපතළ අභියෝගයක් එල්ල කරන වසංගත තත්ත්වයකි. එය, අනාවැකි විශේෂයෙන් කිවයුතු නැති සුපුරුදු මාරාන්තික වසංගතයකි. වැසි සමය ආරම්භ වීමත් සමඟ මදුරුවන් බෝවීම වේගවත් වන අතර, ඉන් පසු වැසි පහල ගියද රෝගීන්ගේ සංඛ්‍යාව බරපතළ සහ සැලකිය යුතු ලෙස ඉහළ යයි. ඩෙංගු පාලනය සම්බන්ධයෙන් බොහෝ විට සෞඛ්‍ය අංශයට පමණක් වගකීම පැවරීමට සමාජයේ ප්‍රවණතාවක් තිබුණද, ලංකාවේ සෞඛ්‍ය අංශ ඩෙංගු රෝගීන් සුවපත් කිරීම සඳහා ගන්නාවූ වෙහෙස අපගේ ප්‍රශංසාවට ලක්විය යුතුය. නමුත් වසංගතය ඇතිවීම වැලැක්වීම සඳහා අනෙකුත් වගකිවයුතු අංශ සහ මහජනයා දක්වන උනන්දුවක් නැති තරම්ය. මේ අතර ප්‍රාදේශීය ආණ්ඩු තීරණාත්මකය. යථාර්ථයේදී එය ප්‍රාදේශීය ආණ්ඩු, මධ්‍යම ආණ්ඩුව, සහ ජනතාව එක්ව ඉටු කළ යුතු පොදු වගකීමකි. එහිදී ප්‍රාදේශීය ආණ්ඩු (මහ නගර සභා, නගර සභා, සහ ප්‍රාදේශීය සභා) ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතුය. එය වගකීමකි. සමාජයට වගඋත්තර බැඳිය යුතු වගකීමකි. නමුත් මේවන විට පවතින ඩෙංගු සංවාදය තුළ ප්‍රාදේශීය ආණ්ඩුවල වගකීම් සහ වගවීම් පිලිබඳ කිසිදු සැලකිය යුතු මට්ටමේ ඉඩක් අත්පත් කරගෙන නැත. මේ ලිපිය එවැනි ඉඩක් විවෘත කිරීම සඳහා ය.

ප්‍රාදේශීය ආණ්ඩුවල මූලික කාර්යය වන්නේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න, පිරිසිදු හා ආරක්ෂිත පරිසරයක් සපයා දීමයි. ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කසළ නිසි ලෙස එකතු කිරීම, කාණු හා ජල මාර්ග පිරිසිදු කිරීම, වැසි ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීම, හිස් ඉඩම් නඩත්තු කිරීම, සහ මහජන ස්ථාන පිරිසිදුව පවත්වා ගැනීම වැනි කාර්යයන් ප්‍රාදේශීය ආණ්ඩුවල නෛතික හා පරිපාලන වගකීම් අතරට අයත් වේ. මෙම සේවාවන් අඛණ්ඩව හා කාර්යක්ෂමව ඉටු නොකළහොත් මදුරු බෝවීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වන අතර, එහි ප්‍රතිඵලය වන්නේ ඩෙංගු වසංගතය වේගයෙන් පැතිර යාමයි.

එහෙත් ප්‍රාදේශීය ආණ්ඩුවල කාර්යභාරය පරිසරය පිරිසිදු කිරීමෙන් පමණක් සීමා නොවේ. ජනතාව දැනුවත් කිරීම, පාසල් හා ප්‍රජා සංවිධාන සමඟ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම, නිවාස හා ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීම, මදුරු බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීම සහ අවශ්‍ය අවස්ථාවල නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද ඔවුන්ගේ වගකීමකි. එසේම සෞඛ්‍ය අංශය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, පාසල්, සිවිල් සංවිධාන, සහ ජනතාව සමඟ සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමෙන් පමණක් මෙම වගකීම් සාර්ථකව ඉටු කළ හැකිය.

වගකීම සමඟම වගවීම ද ප්‍රාදේශීය ආණ්ඩුවල අත්‍යවශ්‍ය ගුණාංගයකි. වගවීම යනු ජනතාවට ලබාදීමට බැඳී සිටින සේවාවන් පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු කිරීම සහ තම ක්‍රියාකාරකම් පිළිබඳ ජනතාවට පිළිතුරු දීමයි. ඩෙංගු මර්දනය සඳහා වෙන් කරන ලද මහජන මුදල් නිසි අයුරින් භාවිත කරන්නේද, කසළ එකතු කිරීමේ සේවාව නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද, නීති සියලු දෙනාට සමානව ක්‍රියාත්මක කරන්නේද, ජනතා පැමිණිලිවලට කඩිනමින් ප්‍රතිචාර දක්වන්නේද යන්න ප්‍රාදේශීය ආණ්ඩුවක වගවීම මැනිය හැකි ප්‍රධාන දර්ශක වේ.

කෙසේ වෙතත්, ඩෙංගු පාලනයේදී ප්‍රාදේශීය ආණ්ඩුවලට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම, සේවක හිඟය, වේගවත් නාගරීකරණය, ප්ලාස්ටික් සහ අනෙකුත් වෙළඳ ඇසුරුම්වල සීඝ්‍ර වර්ධනය, අනියම් සහ අනවසර ජනාවාස ව්‍යාප්තිය, ජනතාවගේ නොසැලකිල්ල, සහ ඇතැම් අවස්ථාවල දේශපාලන බලපෑම් නිසා ඔවුන්ගේ කාර්යයන් බාධාවට ලක් වේ. එහෙත් එම අභියෝග ප්‍රාදේශීය ආණ්ඩුවල වගකීම් මඟහැරීමට හේතුවක් නොවිය යුතුය. ඒ වෙනුවට නව තාක්ෂණය භාවිත කිරීම, දත්ත මත පදනම් වූ සැලසුම් සකස් කිරීම, ප්‍රජා සහභාගීත්වය වැඩිදියුණු කිරීම, සහ කාර්යසාධනය මැනිය හැකි දර්ශක හඳුන්වා දීම තුළින් සේවා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවිය හැකිය.

එම සියල්ල සත්‍ය වන අතරම කැලිකසල ඉවත් කිරීමේදී ප්‍රාදේශීය ආණ්ඩු මුහුණදෙන ගැටලු සහ ඒවාට අදාළ විසඳුම් කෙරෙහි තවදුරටත් අපගේ විශේෂ අවධානයක් යොමුවිය යුතුය. මන්ද ප්‍රාදේශීය ආණ්ඩු මුහුණ දෙන ගැටළු සහ සීමා හුදු එකී ආයතනවලට පමණක් චෝදනා කළ නොහැකි සමස්ත ව්‍යුහාත්මක ගැටළු වන නිසාය. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු ප්‍රාදේශීය ආණ්ඩුවලට සහයෝගය දිය යුත්තේ එබැවිනි. 

කැලිකසල කළමනාකරණය යනු ප්‍රාදේශීය ආණ්ඩුවලට පැවරී ඇති අත්‍යවශ්‍ය මහජන සේවාවකි, වගකීමකි. එය සත්‍යයකි. පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීම, ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම, ඩෙංගු වැනි වසංගත රෝග පාලනය කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා කාර්යක්ෂම කසළ කළමනාකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. එහෙත් අද වන විට ශ්‍රී ලංකාවේ බොහෝ මහ නගර සභා, නගර සභා, සහ ප්‍රාදේශීය සභා මෙම සේවාව සාර්ථකව පවත්වාගෙන යාමේදී විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටී. මෙම ගැටලු නිසි ලෙස හඳුනාගෙන ඒවාට තිරසාර විසඳුම් සෙවීම ඩෙංගු වැනි වසංගත වළක්වා ගැනීම සඳහා වූ කාලීන අවශ්‍යතාවකි.  

ප්‍රාදේශීය ආණ්ඩුවලට පවතින විශාලතම ගැටලුව වන්නේ ප්‍රමාණවත් මූල්‍ය සම්පත් නොමැති වීමයි. කසළ එකතු කිරීම සඳහා අවශ්‍ය රථවාහන මිලදී ගැනීම, ඒවා නඩත්තු කිරීම, ඉන්ධන සැපයීම, සහ සේවක වැටුප් ගෙවීම සඳහා විශාල මුදලක් වැය වේ. එහෙත් බොහෝ ප්‍රාදේශීය ආණ්ඩුවල ආදායම් සීමිත බැවින් මෙම සේවාව අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට අපහසුතාවක් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ප්‍රදේශවල කසළ නියමිත දිනවල එකතු නොවීමත්, කසළ ගොඩගැසී පරිසර දූෂණය හා සෞඛ්‍ය ගැටලු ඇතිවීමත් දක්නට ලැබේ.

මූල්‍ය ගැටලු සමඟම මානව සම්පත් හා උපකරණ හිඟය ද බරපතළ ප්‍රශ්නයකි. බොහෝ ප්‍රාදේශීය ආණ්ඩු ආයතනවල සනීපාරක්ෂක සේවකයන් ප්‍රමාණවත් නොවන අතර, කසළ එකතු කිරීමේ රථ හා යන්ත්‍රෝපකරණ ද ප්‍රමාණවත් නැත. ඇතැම් ස්ථානවල භාවිත කරන වාහන වසර ගණනාවක් පැරණි බැවින් නිතර අලුත්වැඩියා කිරීමට සිදුවන අතර, එම නිසා සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා ඇති වේ. ජනගහනය සහ නාගරීකරණය වේගයෙන් වර්ධනය වුවද, කැලිකසල භාහිර පරිසරයට මුදාහැරීම වේගවත් වූවද අධික වූවද එයට සරිලන ලෙස සේවා සහ තාක්ෂණික ධාරිතාව වැඩි වී නොමැති වීම මෙම ගැටලුව තවත් උග්‍ර කරයි.

කෙසේ වෙතත්, ප්‍රාදේශීය ආණ්ඩුවල අභියෝග සඳහා ආයතනික දුර්වලතා පමණක් හේතු නොවේ. සනීපාරක්ෂක සංස්කෘතියක් ප්‍රශස්ථ ලෙස වර්ධනය නොවූ පසුබිමක ජනතාවගේ නොසැලකිල්ල ද කසළ කළමනාකරණය අසාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයකි. බොහෝ දෙනා නිවාසවලින් බැහැර කරන කසළ වෙන් නොකර එකම බඳුනකට දමන අතර, ඇතැමුන් මාර්ග දෙපසට, ඇළ මාර්ගවලට, හෝ හිස් ඉඩම්වලට කසළ බැහැර කරති. මෙවැනි ක්‍රියා හේතුවෙන් පරිසර දූෂණය පමණක් නොව, ඩෙංගු මදුරුවන් බෝවීම, ජල ගැලීම් සහ වෙනත් මහජන සෞඛ්‍ය ගැටලු ද මතුවේ. එබැවින් කසළ කළමනාකරණය යනු ප්‍රාදේශීය ආණ්ඩුවල පමණක් නොව, සෑම පුරවැසියෙකුගේම වගකීමක් බව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

තවත් බරපතළ අභියෝගයක් වන්නේ කසළ අවසන් වශයෙන් බැහැර කිරීම සඳහා සුදුසු භූමි සොයා ගැනීමයි. නව කසළ අංගන හෝ අපද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට උත්සාහ කරන විට, ඒවා අවට ජීවත්වන ජනතාවගේ විරෝධය බොහෝවිට මතුවේ. පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් පිළිබඳ ඇති බිය හේතුවෙන් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන අතර, ප්‍රාදේශීය ආණ්ඩුවලට දිගුකාලීන විසඳුම් සොයා ගැනීම දුෂ්කර වේ. එසේම, විවිධ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා සහ ඇතැම් විට දේශපාලන මැදිහත්වීම් ද කාර්යක්ෂම තීරණ ගැනීමට බාධා පමුණුවයි.

මෙම ගැටලුවලට විසඳුම් ද බහුමාර්ගික විය යුතුය. ප්‍රථමයෙන්ම ප්‍රාදේශීය ආණ්ඩුවලට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සහ කසළ කළමනාකරණය සඳහා නවීන තාක්ෂනය, නවීන රථවාහන හා උපකරණ සැපයීම අවශ්‍ය වේ. ඊට අමතරව, නිවසේදීම කසළ වර්ග කිරීමේ ක්‍රමවේද සහ ආකල්ප රටපුරා ප්‍රවර්ධනය කළ යුතු අතර, කාබනික කසළ කොම්පෝස්ට් බවට පත් කිරීම සහ ප්ලාස්ටික්, වීදුරු, ලෝහ වැනි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම සඳහා දිරිගැන්වීම් ලබාදිය යුතුය. නවීන තාක්ෂණය භාවිත කරමින් කසළ රථ GPS මඟින් නිරීක්ෂණය කිරීම, ඩිජිටල් පැමිණිලි පද්ධති හඳුන්වා දීම, සහ දත්ත මත පදනම් වූ සේවා සැලසුම් සකස් කිරීම ද කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි ක්‍රියාමාර්ග වේ.

එසේම, ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම සඳහා අඛණ්ඩ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. පාසල්, ආගමික ආයතන, සිවිල් සංවිධාන, සහ මාධ්‍ය මේ සඳහා සක්‍රීය හවුල්කරුවන් බවට පත් කළ යුතුය. ඒ සමඟම, අනවසරයෙන් කසළ බැහැර කරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් නීතිය දැඩිව හා සමානව ක්‍රියාත්මක කිරීම ද අත්‍යවශ්‍ය වේ. නීතිය ක්‍රියාත්මක කිරීම සහ මහජන අධ්‍යාපනය එකිනෙකට අනුපූරක ක්‍රියාවලීන් ලෙස ක්‍රියාත්මක වූ විට පමණක් කසළ කළමනාකරණයේ සැබෑ ප්‍රගතියක් ලබාගත හැකිය.

ඒ කෙසේ වෙතත්, කැලිකසල කළමනාකරණය යනු කසළ එකතු කර බැහැර කිරීමේ සරල සේවාවක් නොව, මහජන සෞඛ්‍යය, පාරිසරික ආරක්ෂාව, නාගරික සංවර්ධනය, ප්‍රාදේශීය සෞඛ්‍යය, සහ යහපත් ආණ්ඩුකරණය සමඟ සමීපව බැඳුණු රාජ්‍ය වගකීමකි. එහි සාර්ථකත්වය සඳහා ප්‍රාදේශීය ආණ්ඩුවල කැපවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, මධ්‍යම රජයේ ප්‍රතිපත්තිමය, තාක්ෂණික, හා මුල්‍යමය  සහාය, පෞද්ගලික අංශයේ දායකත්වය, සහ සියල්ලටම වඩා ජනතාවගේ වගකීම් සහගත හැසිරීම අත්‍යවශ්‍ය වේ. පිරිසිදු පරිසරයක් යනු ප්‍රාදේශීය ආණ්ඩුවක සේවාවක් පමණක් නොව, සෑම පුරවැසියෙකුම එක්ව ගොඩනගන ජාතික වටිනාකමක් බව අප සැමවිටම මතක තබා ගත යුතුය.

එනම් මෙහිදී ජනතාවගේ වගකීම නොසලකා හැරිය නොහැකිය. ප්‍රාදේශීය ආණ්ඩුවලට පමණක් ඩෙංගු මර්දනය කළ නොහැකිය. තම නිවස, වත්ත සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම, මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීම, සහ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි. නමුත් ඒ සඳහා ප්‍රාදේශීය ආණ්ඩුව හා ජනතාව අතර හවුල්කාරිත්වයක් ගොඩනැගීම සිදුවිය යුතුය. එවිට පමණක් ඩෙංගු වැනි වසංගත සාර්ථකව පාලනය කළ හැකිය. ඒ සඳහා මුලිකත්වය සහ නායකත්වය ප්‍රාදේශීය ආණ්ඩු මගින් ලබා දිය යුතුය.

ඒ අනුව ඩෙංගු මර්දනය සෞඛ්‍ය අංශයේ පමණක් වගකීමක් නොව, යහපත් ප්‍රාදේශීය ආණ්ඩුකරණයේ සාර්ථකත්වය මැනිය හැකි වැදගත් දර්ශකයක් බව අවධාරණය කළ යුතුය. කාර්යක්ෂම සේවා සැපයීම, විනිවිදභාවය, නීතියේ ආධිපත්‍යය, ජනතා සහභාගීත්වය, සහ වගවීම මත පදනම් වූ ප්‍රාදේශීය ආණ්ඩුවක් ගොඩනැගීමට හැකි නම්, ඩෙංගු පමණක් නොව අනාගතයේදී මතුවිය හැකි අනෙකුත් මහජන සෞඛ්‍ය අභියෝගවලට ද සාර්ථකව මුහුණ දිය හැකි වනු ඇත. එබැවින් ඩෙංගු පිටුදැකීමේ සටන ජයගැනීම සඳහා ප්‍රාදේශීය ආණ්ඩුවල වගකීම හා වගවීම සක්‍රීය කිරීම අත්‍යවශ්‍ය ම ජාතික අවශ්‍යතාවකි෴.