සිරකරුවෝ ද මනුෂ්‍යයෝය 

සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝය

මීගමු බන්ධනාගාර සිදුවීම මුල්කරගෙන ඇති වූ කතාබහේ නිතර වර නැගුනු “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය” යන ප්‍රකාශයට “සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝය” යන ප්‍රකාශය මා එකතු කරන්නේ, සාමාන්‍යයෙන් බන්ධනාගාර ජීවිතය පිළිබඳ කෙටි අදහසකින් නොව, මනුෂ්‍යත්වය, නිදහස, සමාජ පාලනය, සහ බලය පිළිබඳ විග්‍රහයකට මඟක් විවෘත කරගැනීමේ අරමුණෙනි. පළමු ප්‍රකාශය මඟින් බන්ධනාගාරගත පුද්ගලයන්ගේ මනුෂ්‍යත්වය පිළිගැනේ. මා එකතු කළ දෙවන  ප්‍රකාශය මඟින් සමාජයේ ජීවත්වන අපි සියලු දෙනා ද යම් ආකාරයක සීමා, නීති, සම්මත, සහ බල ව්‍යුහයන් සහිත සිරගෙයක තුළ ජීවත් වන බව හැඟවුම් කරයි. එබැවින් “සිරගෙදර” යනු ගොඩනැගිල්ලක් පමණක් නොව, සමාජය තුළ මිනිසාගේ ජීවිතය හැඩගස්වන සංකීර්ණ ආයතනික හා සංස්කෘතික ව්‍යුහයක් ලෙස ද අප තේරුම් යුතුය. මෙම ලිපිය මීගමු බන්ධනාගාර සිද්ධිය පිළිබඳව නොවේ. එය නිමිත්තක් කරගෙන පවත්නා  සමාජ කතිකාව පුළුල් කිරීමේ අදහසින් එකතු කොට ලියන එකකි. එසේම රටේ ප්‍රතිපත්ති සම්පාදන කතිකාවේ ගැඹුරක් අත්‍යවශ්‍ය යන අදහසේ සිට ලියන්නකි.

වර්තමානයේ දණ්ඩන විද්‍යාව/Penology, අපරාධ විද්‍යාව/Criminology, සමාජ විද්‍යාව, සහ දර්ශනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ අවධානය යොමු වන්නේ දඬුවමට වඩා පුනරුත්ථාපනය (rehabilitation), ප්‍රත්‍යනුකලනය (reintegration), සහ මානව ගෞරවය ආරක්ෂා කිරීම වෙතය (Coyle, Fair, & Walmsley, 2016). මෙම ප්‍රකාශ දෙක නියෝජනය කරනුයේ එම නව මානවවාදී ප්‍රවේශයයි. අපරාධයක් සිදු කළ පුද්ගලයකුගේ නිදහස තාවකාලිකව අහිමි කළ හැකි වුවද, ඔහුගේ මනුෂ්‍යත්වය කිසිසේත් අහිමි නොවේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය  සියලු මිනිසුන් “නිදහස්ව හා සමාන ගෞරවයෙන්” උපදින බව පැහැදිලිව ප්‍රකාශ කරයි (United Nations, 1948). ඒ අනුව බන්ධනාගාර දඬුවම මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක් නොව, නීතිය මඟින් නිදහස සීමා කිරීමක් පමණි. මෙම අදහස තවදුරටත් තහවුරු කරන්නේ නෙල්සන් මැන්ඩෙලා නීති (United Nations Standard Minimum Rules for the Treatment of Prisoners) ය. එහි මූලික පදනම වන්නේ සිරකරුවන්ගේ අභිමානය, ගෞරවය, සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවයි (United Nations, 2015). ඒ අනුව, සිරකරුවා යනු “අයිතිවාසිකම් අහිමි කළ මනුෂ්‍යයෙකු” නොව, “නිදහස සීමා කරන ලද මනුෂ්‍යයෙකු” පමණි.

එසේම ෂාන් ෂාක් රූසෝ කී පරිදි නිදහස්ව හා ගෞරවයෙන් උපදින සියලු මිනිසුන් ඉන්පසු විවිධ දම්වැල් සහිත මහා හිරගෙයක කැමැත්තෙන්, අකමැත්තෙන්, දැනුවත්ව, සහ නොදැනුවත්ව දි ගෙවන බව අප වටහා ගත යුතුය.   මිෂෙල් ෆූකෝ/Michel Foucault සිය Discipline and Punish කෘතියෙන් පෙන්වා දෙන්නේ නූතන සමාජය බන්ධනාගාරයකින් පමණක් නොව, පාසල්, හමුදා, කර්මාන්තශාලා, රෝහල් සහ රාජ්‍ය ආයතන හරහා ද මිනිසුන් විනයගත/සිරගත කරන බවයි (Foucault, 1977). ජෙරමි බෙන්තම් ගේ නිර්මාණාත්මක අදහසකින්  ෆුකෝ ඉදිරිපත්කළ “Panopticon” සංකල්පය අනුව, මිනිසා නිරන්තරයෙන් නිරීක්ෂණය වන බව විශ්වාස කරන විට, බාහිර බලය නොමැති වුවද තමන්ම තම හැසිරීම පාලනය කරගනී. ස්වේච්ඡානුගතව සිරගත වෙයි. මේ අනුව “සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝ වන්නාහ”.

එමිල් ඩර්ක්හයිම්/Émile Durkheim පෙන්වා දෙන්නේ පුද්ගලයාට වඩා බලවත් “සමාජ සාධක” මඟින් සමාජය පුද්ගල හැසිරීම පාලනය කරන බවයි (Durkheim, 1982). එනම් මිනිසුන් නීතියට පමණක් නොව, සදාචාරයට, ආගමට, සංස්කෘතියට, සහ සමාජ අපේක්ෂාවන්ට ද යටත්ව ජීවත් වෙති. සිරගත වී සිටිති.මේ අනුව, රැකියාව, පවුල, ආර්ථික වගකීම්, සමාජ පිළිගැනීම, දේශපාලන පද්ධතිය, සහ සංස්කෘතික සම්මතයන් යන සියල්ලම මිනිසාගේ ක්‍රියාකාරීත්වය සීමා කරන නොපෙනෙන සිරගෙවල් ලෙස සැලකිය හැකිය. වෙනස වන්නේ බන්ධනාගාරයේ සිරකරුවාට යකඩ දොරක් පෙනෙන අතර, සාමාන්‍ය මිනිසාගේ සිරය බොහෝවිට නොපෙනෙන එකක් වීමයි. එය අදෘශ්‍යමානය. එහෙත් අතිශයින්ම බලවත්ය. මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බැලූ විට ද මිනිසා විවිධ අභ්‍යන්තර සිරගෙවල් තුළ ජීවත් වේ. බිය, ලෝභය, ඊර්ෂ්‍යාව, වෛරය, ආශාව, අසාර්ථකත්වය පිළිබඳ බිය, සහ අතීත අත්දැකීම් බොහෝ විට පුද්ගලයාගේ නිදහස සීමා කරයි. වික්ටර් ෆ්‍රැන්ක්ල්/Viktor Frankl පෙන්වා දෙන්නේ බාහිර නිදහස අහිමි වුවද, තම ආකල්පය තෝරාගැනීමේ අභ්‍යන්තර නිදහස මිනිසාට ඉතිරිවන බවයි (Frankl, 2006). එබැවින් ඇතැම් විට බන්ධනාගාරයක සිටින පුද්ගලයකු මානසිකව නිදහස් විය හැකි අතර, සමාජයේ නිදහසේ සිටින පුද්ගලයකු තම සිතිවිලිවලම සිරකරුවකු විය හැකිය.

සිරකරුවා මනුෂ්‍යයෙකු ලෙස පිළිගැනීමෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිඵලය වන්නේ දඬුවමට වඩා පුනරුත්ථාපනය ප්‍රමුඛ කිරීමයි. නූතන අපරාධ විද්‍යාව පෙන්වා දෙන්නේ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, මානසික සෞඛ්‍ය සේවා, මත්ද්‍රව්‍ය ප්‍රතිකාර, සහ පවුල් සබඳතා ශක්තිමත් කිරීම මඟින් නැවත අපරාධ සිදුකිරීම (recidivism) අඩු කළ හැකි බවයි (Cullen & Jonson, 2017). සිරකරුවා යහපත් අයෙකු ලෙස සමාජයට නැවත එක්වීමට සූදානම් කිරීම යනු සිරකරුවාට පමණක් නොව, සමස්ත සමාජයටම ඵලදායී ආයෝජනයකි.

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල බන්ධනාගාර තදබදය, සම්පත් හිඟය, සහ පුනරුත්ථාපන වැඩසටහන්වල සීමාකාරී බව පමණක් නොව දාර්ශනික දරිද්‍රතාව මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමට බාධාවෝ වෙති. එබැවින් සිරකරුවන් “ගැටලුව” ලෙස නොව, “ප්‍රතිසංස්කරණයට ලක්විය හැකි මනුෂ්‍ය සම්පතක්” ලෙස දැකීම ප්‍රතිපත්තිමය වශයෙන් ඉතා වැදගත්ය.

“සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝය” යන අදහස මගින් මා ආරාධනා කරනුයේ අප කෙරෙහි වන ස්වයං විවේචනයක් සඳහාය. අපි සියලු දෙනාම යම් ආකාරයක සීමා, නීති, වගකීම්, ආර්ථික පීඩන, සමාජ සංස්කෘතික අපේක්ෂා, සහ දේශපාලන ව්‍යුහයන් තුළ ජීවත් වෙමු. එබැවින් සිරකරුවා පිළිබඳ අපගේ විනිශ්චය අනුකම්පාව, සාධාරණත්වය, සහ මානව ගෞරවය මත පදනම් විය යුතුය. මනුෂ්‍යත්වය අහිමි වූ සමාජයක දඬුවම ප්‍රචණ්ඩත්වයක් බවට පත්විය හැකි අතර, මනුෂ්‍යත්වය පදනම් කරගත් සමාජයක දඬුවම පවා ප්‍රතිසංස්කරණයේ මෙවලමක් බවට පත්විය හැකිය.

“සිරකරුවෝ ද මනුෂ්‍යයෝය; සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝය.” යන ප්‍රකාශය බන්ධනාගාරය පිළිබඳ අදහස ඉක්මවා ගොස් මනුෂ්‍ය ජීවිතයේ සීමා, නිදහස, බලය සහ සමාජය අතර ඇති සම්බන්ධතාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට නිමිත්තක් කරගත යුතුය. පළමු පාඨය අපට සිරකරුවන්ගේ මානව ගෞරවය ආරක්ෂා කිරීමේ සදාචාරාත්මක වගකීම සිහිපත් කරන අතර, දෙවන පාඨය අපම විවිධ දෘශ්‍ය හා අදෘශ්‍ය සිරගෙවල් තුළ ජීවත් වන බව මතක් කරයි. එබැවින් නූතන බන්ධනාගාර ප්‍රතිපත්තිය දඬුවමෙන් ඔබ්බට ගොස්, මනුෂ්‍යත්වය, පුනරුත්ථාපනය, සමාජ ප්‍රතිසංස්කරණ, සහ ගෞරවය මත පදනම් විය යුතුය. අවසානයේදී, මිනිසාගේ සැබෑ නිදහස ලැබෙන්නේ යකඩ දොරවල් විවෘත කිරීමෙන් පමණක් නොව, භීතිය, වෛරය, අසාධාරණය, සහ සමාජ අපකීර්තියෙන් ඔහු නිදහස් කිරීමෙනි.

වැඩිදුර විමර්ශනයට:

Coyle, A., Fair, H., & Walmsley, R. (2016). Imprisonment worldwide: The current situation and an alternative future. Policy Press.

Cullen, F. T., & Jonson, C. L. (2017). Correctional theory: Context and consequences (2nd ed.). Sage.

Durkheim, É. (1982). The rules of sociological method (S. Lukes, Ed., W. D. Halls, Trans.). Free Press. (Original work published 1895)

Foucault, M. (1977). Discipline and punish: The birth of the prison (A. Sheridan, Trans.). Pantheon Books.

Frankl, V. E. (2006). Man's search for meaning. Beacon Press. (Original work published 1946)

United Nations. (1948). Universal Declaration of Human Rights.

United Nations. (2015). United Nations Standard Minimum Rules for the Treatment of Prisoners (the Nelson Mandela Rules).