ලක්මිණි රන්දිමා

ලක්මිණි රන්දිමා
චීන භාෂා ගුරුවරිය, වේල්ස් කුමරි විදුහල, මොරටුව

මෙම ලිපිය සම්පාදනය කරන්නේ හුදෙක් මෙම පර්යේෂිකාවගේ ප්‍රයෝගික ගුරු භූමිකාව තුළ අත්දකින අත්දැකීම් සහ නිරීක්ෂණ පාදක කරගනිමිනි.


දැනට වාර්තාවන නිල දත්ත අනුව 2024 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට චීන භාෂාවෙන් පෙනී සිටියේ පළමු වරට විභාගයට මුහුණ දුන් පාසල් අපේක්ෂකයින් 78 දෙනෙකි. 2025 විභාගයේදී එම සංඛ්‍යාව 234 දක්වා ඉහළ ගියේය. එය එක් වසරක් තුළ අපේක්ෂකයින් සංඛ්‍යාව තුන් ගුණයක් දක්වා ඉහළ යාමකි. එහෙත් සාමාර්ථ ප්‍රතිශතය 76.92% සිට 50.43% දක්වා පහත වැටුණු බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. 2025 දී චීන භාෂාව ලියූ සිසුන්ගෙන් 116 දෙනෙකු, එනම් අඩකට ආසන්න පිරිසක් එම විෂයය අසමත් වී තිබේ.

මෙම පර්යේෂිකාව 2024 වසරේ සිට මොරටුව වේල්ස් කුමරි විදුහලේ චීන භාෂාව විෂයය උගන්වන අතර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ පන්ති කාමරයේ දකින දේ දිනපතා ගුරු දිනපොතක සටහන් කිරීම පුරුද්දක් වශයෙන් සිදුකරනු ලබයි. ඒ අනුව ඉහත සඳහන් නිල සංඛ්‍යා දත්ත මෙම පර්යේෂිකාව විසින් සිය ගුරු නිරීක්ෂණ සටහන් දත්ත සමඟ සසඳා බැලීම සහ ප්‍රායෝගික නිරීක්ෂණ සහ දත්ත අතර සමානතාවයන් සහ අසමානතාවයන් සලකුණු කිරීම සිදුකරනු ලැබීය. එහෙදී වඩාත් හොඳින් නිරීක්ෂණය වන දෙය නම් ගැටලුවේ මුල විභාග ශාලාවට වඩා බොහෝ කලින්, පන්ති කාමරයේදීම ආරම්භවන්නක් වන බවයි.

චීන භාෂාව විෂයයට ඉල්ලුම වැඩි වූයේ ඇයි?

ශ්‍රී ලංකාව චීනයේ ‘එක් තීරයක්, එක් මාවතක්’ (One Belt One Road) වැඩසටහනට සම්බන්ධ වීමෙන් පසු චීන ව්‍යාපෘතිවල රැකියා අපේක්ෂාවෙන් චීන භාෂාව ඉගෙන ගන්නා තරුණ පිරිස වැඩි වී ඇති බව නිරීක්ෂණය වේ. පන්ති කාමරයට විෂයය හදාරන්න එන සිසුන්ගෙන් 60% ක් විෂයය හදාරන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස පවසන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි ව්‍යපෘති මඟින් ජනනය වන රැකියා අවස්ථා සඳහා තමන්ට ප්‍රවේශ වීමට මෙය අත්වැලක් වනු ඇති බවය. 30% ක් නව භාෂාවක් හැදෑරීමට ඇති ඇල්ම නිසා පැමිණෙන බව ප්‍රකාශ කරන ලදී. ඉතිරි 10% ට ඒ සම්බන්ධව නිශ්චිත අදහසක් නොතිබුණි. අනෙක් අතට සංචාරක කර්මාන්තය ආශ්‍රිත දත්ත අනුව ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් චීනයෙන් ශ්‍රීලංකාවට පැමිණෙන බව නිරීක්ෂණය වේ. ඒ නිසා ද විෂයය පිළිබඳව උනන්දුවක් ඇති වී තිබෙන බව නිරීක්ෂණය කල හැක. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2024 දී චීන සංචාරකයින් 131,681 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. එය 2023 දී පැමිණි 73,788 ට වඩා 78%ක පමණ වැඩිවීමකි. 2024 දී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර චීනය සිටියේ පස්වැනි ස්ථානයේය.

ආර්ථික සමාජයේ එකී සංයුතික වෙනස්කම් සිදුවන අතර චීන භාෂා අධ්‍යයනය සඳහා ශ්‍රීලංකාවේ උසස් අධ්‍යාපනයේ දොරටු ද විවර විය. කැලණිය විශ්වවිද්‍යාලයේ කන්ෆියුෂියස් ආයතනය 2007 දී චීනයේ චොංජින් විශ්වවිද්‍යාලය (Chongqing Normal University) සමඟ එක්ව ආරම්භ කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාලයේ ද කන්ෆියුෂියස් ආයතනයක් ඇත. එමෙන්ම මේ වනවිට ශ්‍රී ජයවර්ධන පුර සහ සබරගමුව විශ්ව විද්‍යාල ද චීන භාෂා අධ්‍යයනය සඳහා විද්‍යාර්ථීන් වෙත පහසුකම් සපයා ඇත. මෙම ආයතන විසින් සහතික පත්‍ර, ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා පවත්වනු ලබයි.

රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් ද මෙම ඉල්ලුම නිවැරදිව හඳුනාගන්නා ලද බව නිරීක්ෂණ වන අතර 2024 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් පාදක කරගනිමින් ජපන්, චීන සහ කොරියානු භාෂා අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරන බව මාධ්‍ය මගින් වාර්තා කරන ලදී. එමෙන්ම ඒ වනවිට පාසල් ආශ්‍රිතව පැවති විදේශ භාෂා ගුරුවරුන්ගේ හිඟය පියවීම සඳහා නව බඳවා ගැනීම් කෙරෙහි ද අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින් ගේ අවධානය යොමුවන ලදී. ඒ අනුව 2024 පෙබරවාරි මස ගුරුවරුන් 162 ක් බඳවා ගන්නා ලද අතර 2024 ජූලි මාසයේ දී ඉදිරියේ තවත් 2024 පෙබරවාරි මස බඳවා ගන්නා ලද ගුරුවරුන්ගෙන් සාතිශය බහුතරයක් කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් ය. සාමාන්‍ය පෙළ අපේක්ෂකයින් ගණන තුන් ගුණ වූයේ මෙම පත්වීම්වලින් පසු පැවති 2025 විභාගයේදීය.

සංඛ්‍යා කියන කතාව

විභාග දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව, සාමාන්‍ය පෙළ චීන භාෂා අපේක්ෂකයින් ගණන වැඩි වෙද්දී සාමාර්ථ ප්‍රතිශතය අඩු වී ඇත.

වගුව 1: අ.පො.ස. (සා.පෙ.) චීන භාෂාව, පාසල් අපේක්ෂකයින් (පළමු වරට)

විභාග වර්ෂයපෙනී සිටිසමත්සාමාර්ථ %
2021484185.42
2022684972.06
2024786076.92
202523411850.43

මූලාශ්‍රය: විභාග දෙපාර්තමේන්තුව, අපේක්ෂකයින්ගේ කාර්ය සාධන වාර්තා 2022 සහ 2025. 2023 විභාගයේ දත්ත මෙම වගුවට ඇතුළත් කර නැත.

2025 දී චීන භාෂාවෙන් A සාමාර්ථ ලැබුණේ සිසුන් 25 දෙනෙකුට (10.68%) පමණි. සමත් වූවන්ගෙන් වැඩිම පිරිසක් ලැබුවේ S සාමාර්ථයි (54 දෙනෙකු). එම විභාගයේදීම ජපන් භාෂාව ලියූ පාසල් අපේක්ෂකයින් 4,472 දෙනාගෙන් 90.61%ක් සමත් වූ අතර 54%ක් A සාමාර්ථ ලබා ගත්හ. එකම විභාගයට පෙනී සිටි, එකම වයසේ සිසුන් දෙපිරිසක් අතර මෙතරම් පරතරයක් ඇත්තේ ඇයි දැයි සොයා බැලීම වැදගත් ය.

උසස් පෙළේ තත්ත්වය ද වෙනස් නැත. උසස් පෙළ චීන භාෂා සාමාර්ථ ප්‍රතිශතය 2023 දී 84.15%, 2024 දී 80.27% සහ 2025 දී 76.34% ලෙස වසරින් වසර පහත වැටී ඇත. 2025 දී A සාමාර්ථ ලැබුණේ අපේක්ෂකයින් 317 දෙනාගෙන් 26 දෙනෙකුට (8.20%) පමණි.

මෙම පර්යේෂිකාවගේ දින පොත් සටහන් අනුව 2024 දී පාසලට චීන භාෂා විෂයය හඳුන්වා දීමෙන් පසුව 10 ශ්‍රේණියේ චීන භාෂා පන්තියට ඇතුලත් වූ සිසුන් සංඛ්‍යාව 05 දෙනෙකු විය. 11 ශ්‍රේණිය අවසාන වන විට එම සිසුන්ගේ ප්‍රවීණතාව අපේක්ෂිත මට්ටමට වඩා පහතින් තිබෙන බව නිරීක්ෂණය වෙයි. සම්පූර්ණ වශයෙන් විෂය නිර්දේශය ආවරණය කිරීම සිදුකල ද සිසුන්ගේ කුසලතා ඉහල නැංවීමට අවශ්‍ය අනෙකුත් සම්පත්වල හිඟතාව පන්ති කාමර අධ්‍යාපනයට දැඩි ලෙස බලපාන බව නිරීක්ෂණය වේ.

පන්ති කාමරයේ ඇත්තේ කළු ලෑල්ල පමණි

මෙම පර්යේෂිකාවගේ පෞද්ගලික නිරීක්ෂණ සටහන් අනුව භාෂා අධ්යොංයේ ඇති ප්‍රායෝගික ගැටළු පහත පරිදි විශේෂයෙන් සටහන් කල හැක. භාෂාවක් ඉගෙනීමට නම් එය නිතර ඇසීමටත්, දැකීමටත්, කතා කිරීමටත් ඉඩ ඇති පරිසරයක් අවශ්‍ය වෙයි. ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ, රූප සහ ඩිජිටල් සම්පත් ඒ සඳහා උපකාරී වේ. එහෙත් චීන භාෂාව උගන්වන බොහෝ පාසල්වල ඇත්තේ කළු ලෑල්ලක් පමණි. මෙම පර්යේෂිකාවගේ පන්ති කාමර අධ්‍යාපනය සඳහා නිශ්චිත කාලච්ඡේද සංඛ්‍යාවක් තිබුනද ඒ සඳහා අවශ්‍ය කරන භාෂා විද්‍යාගාර පහසුකම් හෝ අවම වශයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ හෝ නොමැත.

ඉංග්‍රීසි මෙන් චීන භාෂාව දවස පුරා ඇසෙන හෝ භාවිත වන භාෂාවක් නොවේ. පන්තියේදී උගන්වන දේ සිසුන් කතා කිරීමට යොදා ගන්නේ ඉතා අල්ප වශයෙනි. පන්තියෙන් පිටත චීන භාෂාව භාවිත වන්නේම නැති තරම්ය.

සිංහල, දෙමළ කතා කරන දරුවෙකුට චීන භාෂාව අමාරු ඇයි?

මැන්ඩරින් චීන භාෂාවේ ස්වර භේද (tones) හතරක් සහ උදාසීන ස්වරයක් ඇත. එකම ශබ්ද ඛණ්ඩය උච්චාරණය කරන ස්වරය අනුව වෙනත් වචනයක් බවට පත් වේ. mā (妈) යනු ‘අම්මා’ය. mǎ (马) යනු ‘අශ්වයා’ය. සිංහල හෝ දෙමළ ස්වර භේද සහිත භාෂා නොවන නිසා මෙම වෙනස ඇසීමටත්, නිවැරදිව උච්චාරණය කිරීමටත් මව් භාෂාව සිංහල හෝ දමිල වන සිසුන්ට දිගු පුහුණුවක් අවශ්‍ය වේ.

චීන අකුරු (Hanzi) හෝඩියක් නොවේ. සෑම අක්ෂරයක්ම අර්ථයක් දරන සලකුණකි. චීනය 1988 දී ප්‍රකාශයට පත් කළ ‘නූතන චීන භාෂාවේ නිතර භාවිත අක්ෂර ලැයිස්තුවේ’ අක්ෂර 3,500ක් ඇති අතර, එදිනෙදා ප්‍රකාශනවල දැකිය හැකි අක්ෂරවලින් 99%කට වඩා ඒවායින් ආවරණය වන බව සඳහන් වේ. 2021 දී හඳුන්වා දුන් නව HSK විභාග (චීන භාෂා ප්‍රවීණතා විභාගය) ප්‍රමිතියේ ඉහළම මට්ටම් (7 සිට 9 දක්වා) සඳහා පවා අපේක්ෂා කරන්නේ අක්ෂර 3,000ක් පමණය. සිංහල හෝ දෙමළ අකුරු හුරු දරුවෙකුට එය සම්පූර්ණයෙන්ම අලුත් ලේඛන ක්‍රමයක් මුල සිටම ඉගෙනීමකි.

පෙළපොතක් නැති විෂයක්

සිංහල, ඉංග්‍රීසි, ගණිතය වැනි විෂයවලට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පෙළපොත් නිකුත් කරයි. චීන භාෂාවට එවැනි පෙළපොතක් නැත. ගුරු අත්පොතක් (Teacher's Guide) තිබුණත් මෙම පර්යේෂිකාවට හමු වූ සහ නිරීක්ෂණය වූ ගුරුවරු තමන්ට හුරු වූ ක්‍රමයකට උගන්වන බව නිරීක්ෂණය වේ. ඒ නිසා එක් පාසලක සිසුවෙකු ඉගෙන ගන්නා දේ තවත් පාසලක සිසුවෙකු ඉගෙන ගන්නා දෙයින් වෙනස් වීමේ ඉඩක් පවතී.

මෙය නව සොයාගැනීමක් ද නොවේ. ආචාර්ය සම්මානි කණ්ඩම්බි 2018 දී කළ අධ්‍යයනයක පාසල්වල සුදුසුකම් ලත් චීන භාෂා ගුරුවරුන්ගේ හිඟය, පෙළපොත් හා ඉගැන්වීමේ අත්පොත් සීමිත වීම සහ ගුරු-සිසු සංවාදය හා කථන කුසලතා ඉගැන්වීම නොමැති වීම පෙන්වා දී ඇති බව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත 2023 සැප්තැම්බර් 3 වැනි දින වාර්තා කර ඇත.

A සඳහා කටපාඩම

සාමාන්‍ය පෙළ චීන භාෂා විෂය නිර්දේශය සංකීර්ණ බව නිරීක්ෂණය වේ. බහුතරයක් සිසුන්ගේ ප්‍රධාන අරමුණ හැකි තරම් ඉහළ සාමාර්ථයක් සහ විශේෂයෙන් A සාමාර්ථයක් ලබා ගැනීමයි. ඒ සඳහා ඔවුන් බොහෝ විට කරන්නේ තෝරාගත් පිළිතුරු කටපාඩම් කර විභාගයේදී ලිවීමයි. ලකුණු ලැබුණත්, භාෂාව භාවිත කිරීමේ හැකියාව එයින් වර්ධනය වන්නේ නැත.

චීන භාෂාව හැදෑරීමට උසස් පෙළට සිසුන් තෝරා ගැනීමේදී පාසල් තම තමන්ගේ නිර්ණායක යොදන බව නිරීක්ෂණය වේ. සමහර පාසල් ගණිතය සහ ඉංග්‍රීසි විෂයවලට අවම වශයෙන් C සාමාර්ථයක් ඉල්ලයි. එහෙත් එම විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබන සාපේක්ෂව දක්ෂ සිසුන්ගෙන් වැඩි දෙනෙකු තෝරා ගන්නේ වෙනත් විෂයයන් ය. තවත් පාසල් චීන භාෂාව සලකන්නේ සාහිත්‍ය විෂයක් ලෙස බව නිරීක්ෂණය වේ. ඒ නිසා භාෂාවක් ලෙස එයට ලැබිය යුතු අවධානය අඩු වන බව කිව යුතුය.

කළ හැක්කේ කුමක් ද?

මෙම පර්යේෂිකාවගේ අත්දැකීම්, නිරීක්ෂණ සහ ඉහත දත්ත අනුව, ප්‍රායෝගිකව ගත හැකි පියවර කිහිපයක් පහත පරිදි පෙළ ගැස්විය හැකිය.

  • සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට ගැලපෙන චීන භාෂා පෙළපොතක් සහ ශ්‍රව්‍ය සම්පත් කට්ටලයක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය එක්ව සකස් කිරීම.

  • චීන භාෂාව උගන්වන සෑම පාසලකටම අවම වශයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයක් සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ලබා දීම.

  • 2025 මාර්තුවේ ජාතික අධ්‍යාපන ආයතනයේදී නව ගුරුවරුන් 70 දෙනෙකු උදෙසා පැවැත්වූ පුහුණුව වැනි වැඩසටහන්, කන්ෆියුෂියස් ආයතනවල සහාය ඇතිව, සියලු චීන භාෂා ගුරුවරුන්ට වාර්ෂිකව ලබා දීම සහ ගුරු අත්පොත භාවිතය පිළිබඳව ගුරුවරුන් අතර ඒකමිතියක් ඇති කිරීම එම වැඩසටහන් මගින් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම.

  • විභාගයේදී කථන සහ ශ්‍රවණ කුසලතා ද ඇගයීමට ලක් කිරීම. එවිට කටපාඩමට වඩා භාවිතයට ලකුණු ලැබෙනු ඇත.

  • විෂය නිර්දේශය HSK වැනි ජාත්‍යන්තර මට්ටම් සමඟ ගැලපීම. එවිට සිසුවෙකුගේ සාමාර්ථය විශ්වවිද්‍යාලයකට හෝ සේවා යෝජකයෙකුට පැහැදිලිව තේරුම් ගත හැකි වේ.

චීන භාෂාව විෂයය සඳහා වන ඉල්ලුම දැනටමත් පන්ති කාමරයට පැමිණ ඇත. 2025 දී සාමාන්‍ය පෙළ විභාගයට චීන භාෂාවෙන් සිසුන් 234 දෙනෙකු පෙනී සිටිම එයට ඇති හොඳම සාක්ෂියයි. එහෙත් එම සිසුන් සඳහා ප්‍රායෝගිකව අවශ්‍ය වන පෙළපොත, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ඇතුලත් භාෂා විද්‍යාගාරය සහ ප්‍රමාණවත් තරම් විධිමත් පුහුණු වැඩසටහන් සහිත ගුරුවරුන් තවමත් හිඟය. එම හිඟය කඩිනමින් පියවීමෙන් තොරව භාෂා විෂයයන් හි ප්‍රායෝගික සාර්ථකත්වයක් පාසල් පද්ධතිය තුළින් දැකීම අභියෝගාත්මක වනු ඇත. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම අත්‍යවශ්‍ය වන අතරම භාෂා විෂයයන් අධ්‍යයනයේ ගුණාත්මක බව වැඩි කිරීම සඵලදායී බව සහ කාර්යකතමතාව වැඩි කිරීම කෙරෙහි ද ප්‍රතිපත්ති සම්පාදනයේ දී අවධානය යොමු කිරීම අතිශය වැදගත වන බව මෙම පර්යේෂිකාවගේ නිරීක්ෂණය වන බව අවසාන වශයෙන් සටහන් කරනු ලැබේ.

මෙම ලිපිය සඳහා පාදක මූලාශ්‍ර

  1. විභාග දෙපාර්තමේන්තුව. G.C.E. (O/L) Examination 2025: Performance of Candidates, වගු 10 සහ 11. doenets.lk

  2. විභාග දෙපාර්තමේන්තුව. G.C.E. (O/L) Examination 2022: Performance of Candidates, වගුව 11 (2021–2022). doenets.lk

  3. විභාග දෙපාර්තමේන්තුව. G.C.E. (A/L) Examination 2025: Performance of Candidates, වගු 14 සහ 15; G.C.E. (A/L) Examination 2024, වගුව 15. doenets.lk

  4. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය. Year in Review 2024. sltda.gov.lk

  5. Rodrigo, A. “Sri Lanka to teach Japanese, Chinese, Korean in schools, but teachers in short supply.” EconomyNext, 2024 මාර්තු 8. economynext.com

  6. කැලණිය විශ්වවිද්‍යාලයේ කන්ෆියුෂියස් ආයතනය. “Cultivating Future Chinese Educators: A Pioneering Training Program for New Teachers” (2025 මාර්තු 11–12 පුහුණුව). units.kln.ac.lk

  7. Balachandran, P.K. “Status of Hindi and Chinese teaching and learning in Sri Lanka.” Sunday Observer, 2023 සැප්තැම්බර් 3. archives1.sundayobserver.lk

  8. List of Frequently Used Characters in Modern Chinese (1988). en.wikipedia.org

  9. Hanyu Shuiping Kaoshi (HSK), 2021 Chinese Proficiency Grading Standards. en.wikipedia.org

Cover photo: “Calligraphy lesson” by Axel Rouvin, Flickr, licensed under CC BY 2.0; cropped.