ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක අතිශය බහුතරයකගේ කැමත්ත සහිත දේශපාලන ව්‍යාපාරයක් හෝ කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් හෝ ආණ්ඩු බලය ලබා ගැනීම යනු හුදු මැතිවරණ ජයග්‍රහණයකින් අවසන් වන ක්‍රියාවලියක් නොව, ජනතාව විසින් ලබාදුන් ජනවරම ප්‍රතිපත්ති, ආයතනික ප්‍රතිසංස්කරණ, සහ ප්‍රායෝගික ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමේ වගකීම ආරම්භ වීමකි. එබැවින් ආණ්ඩු බලයට පත්වී වසර දෙකක් ගතවන අවස්ථාව විශේෂ දේශපාලන හා ආණ්ඩුකරණ වැදගත්කමක් දරයි. වසර දෙකක් යනු ආණ්ඩුවක සමස්ත කාර්යසාධනය පිළිබඳ අවසාන තීන්දුවක් ලබාදීමට ප්‍රමාණවත් කාලයක් නො වූවත් එම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය දිශාව, ආණ්ඩුකරණ හැකියාව, ආයතනික ප්‍රතිසංස්කරණ, සහ ජනතාවට ප්‍රතිඵල ලබාදීමේ හැකියාව පිළිබඳ පැහැදිලි සංඥා දැකිය හැකි කාල පරිච්ඡේදයකි. විශේෂයෙන් ගෝලීය දකුණේ රටවල ආණ්ඩු බලයට පත්වන්නේ ආර්ථික අර්බුද, ණය බර, දරිද්‍රතාව, විරැකියාව, දුර්වල රාජ්‍ය ආයතන, දූෂණය, සහ සමාජ අසමානතාව වැනි සංකීර්ණ ගැටලු මධ්‍යයේය. එබැවින් වසර දෙකකින් රටක සියලු ගැටලු විසඳීම යථාර්ථවාදී අපේක්ෂාවක් නොවේ. එහෙත් වසර දෙකකදී, රට කොතැනට ගමන් කරන්නේද, එම ගමනේ දිශාව නිවැරදිද, සහ ජනතාවට එහි ප්‍රතිඵල අත්විඳීමට පටන්ගෙන තිබේද යන්න පැහැදිලි විය යුතුය.
දිගු ආඛ්‍යානයක් කරා; ආර්ථික ස්ථාවරත්වයෙන් සංවර්ධනීය ආර්ථිකයකට
ආණ්ඩුවක මුල් වසර දෙක තුළ අපේක්ෂා කළ යුතු ප්‍රධාන වෙනසක් වන්නේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමයි. විශේෂයෙන් ගෝලීය දකුණේ රටවල රාජ්‍ය මූල්‍ය හිඟය, විදේශ විනිමය අර්බුද, ණය බර, සහ උද්ධමනය වැනි ගැටලු ආණ්ඩුවල ප්‍රතිපත්තිමය අවකාශය සීමා කරයි. එවැනි තත්ත්වයකදී ආර්ථික ප්‍රතිසංස්කරණයේ පළමු අදියර වන්නේ අර්බුදය පාලනය කිරීම වුවද, එය අවසාන අරමුණ විය නොහැකිය. ස්ථාවරත්වය නිෂ්පාදනය, ආයෝජනය, රැකියා, සහ ආදායම් වර්ධනය සඳහා පදනමක් බවට පත් කළ යුතුය.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අත්දැකීමද මෙය පැහැදිලි කරයි. ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමෙන් පසු රාජ්‍ය ආදායම් ශක්තිමත් කිරීම, රාජ්‍ය වියදම් කාර්යක්ෂම කිරීම, ආයෝජන වැඩි කිරීම, සහ නිෂ්පාදනශීලී ආර්ථික වර්ධනයක් ඇති කිරීම වැනි ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ (World Bank, 2025). එබැවින් වසර දෙකකදී මැනිය යුත්තේ GDP වර්ධනය පමණක් නොව, එම වර්ධනය ජනතාවගේ ආදායම, රැකියා සහ ජීවන තත්ත්වය කෙරෙහි ඇති කරන බලපෑමයි.
වියට්නාමයේ Đổi Mới ප්‍රතිසංස්කරණ මෙහි වැදගත් සංසන්දනාත්මක උදාහරණයකි. Đổi Mới ප්‍රතිසංස්කරණ යනු වියට්නාමය ආරම්භ කළ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි. එමඟින් මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයෙන් වෙළෙඳපොළ මූලධර්ම, පෞද්ගලික ව්‍යාපාර, විදේශ ආයෝජන, සහ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වැඩි අවකාශයක් සහිත ආර්ථිකයකට ක්‍රමයෙන් මාරු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය, දරිද්‍රතාව අඩු කිරීම, සහ රැකියා හා ආදායම් අවස්ථා පුළුල් කිරීම සඳහා දිගුකාලීන පදනමක් ගොඩනැගුණු බව කියැවේ. 1986 දී ආරම්භ වූ එම ප්‍රතිසංස්කරණ ක්ෂණික ව්‍යාපෘතියක් නොව, දිගුකාලීන ආර්ථික පරිවර්තනයකි. වෙළෙඳ විවෘතභාවය, පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම්, ආයෝජනය, සහ මානව ප්රාග්ධනය සමඟ සම්බන්ධ කළ ප්‍රතිපත්ති නිසා දශක ගණනාවක් පුරා දරිද්‍රතාව අඩු කිරීමට හා ආර්ථික අවස්ථා පුළුල් කිරීමට හැකි වී තිබේ (World Bank, 2024). එහි පාඩම වන්නේ වසර දෙකකින් ආර්ථික පරිවර්තනය අවසන් කිරීම නොව, දිගුකාලීන පරිවර්තනය සඳහා විශ්වාසදායක ප්‍රතිපත්ති පදනමක් නිර්මාණය කිරීමයි.
ජනතාවගේ දෛනික ජීවිතයට දැනෙන රාජ්‍යයක්
ආණ්ඩුවක කාර්යසාධනයේ තවත් ප්‍රධාන මිනුමක් වන්නේ රාජ්‍ය සේවා කාර්යක්ෂමතාවයි. ජනතාව ආණ්ඩුව අත්විඳින්නේ බොහෝ විට ජාතික ආර්ථික දර්ශක හරහා නොව, රෝහල, පාසල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ආණ්ඩු, පොදු ප්‍රවාහනය, සහ අනෙකුත් දෛනික සේවාවල සාධාරණත්වය සහිත ගුණාත්මකභාවය හරහාය. එබැවින් වසර දෙකක් වන විට රාජ්‍ය සේවාවන් ලබාගැනීමට ගතවන කාලය අඩුවීම, රාජ්‍ය නිලධාරීන්ගේ ආචාර ධාර්මික හැසිරීම, ඩිජිටල් සේවා වැඩිවීම, පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වැඩිවීම, සහ සේවා ගුණාත්මකභාවය වැඩිවීම වැනි ප්‍රතිඵල දැකිය යුතුය. මෙය “රාජ්‍යය විශාල කිරීම” නොව “රාජ්‍යය වඩාත් කාර්යක්ෂමකරණය සහ ගුණාත්මකරණය ” පිළිබඳ ප්රශ්නයකි.
ඉන්දුනීසියාවේ SP4N-LAPOR! වැනි පුරවැසි පැමිණිලි හා ප්‍රතිචාර පද්ධති මගින් රාජ්‍ය සේවා සම්බන්ධයෙන් පුරවැසියන්ගේ අත්දැකීම් පාලන ක්‍රියාවලියට ඇතුළත් කිරීමට උත්සාහ කර ඇත. SP4N-LAPOR! යනු ඉන්දුනීසියානු රජය විසින් හඳුන්වා දී ඇති පුරවැසි පැමිණිලි, යෝජනා සහ ප්‍රතිචාර ඉදිරිපත් කිරීම සඳහා වූ ඩිජිටල් පද්ධතියකි. මෙහිදී පුරවැසියන්ට රාජ්‍ය සේවා සම්බන්ධ ගැටලු, අඩුපාඩු, සහ යෝජනා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි අතර, ඒවා අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කර ප්‍රතිචාර ලබාදීම සහ පැමිණිල්ලේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සිදු කළ හැකිය. එබැවින් මෙය පුරවැසි සහභාගීත්වය, රාජ්‍ය වගවීම, සහ රාජ්‍ය සේවා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා භාවිත කරන ඩිජිටල් පාලන මෙවලමක් ලෙස සැලකිය හැකිය. එවැනි ක්‍රම මගින් රාජ්‍ය පාලනය “ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කරන දෙයක්” සිට “ජනතාව සමඟ කරන දෙයක්” බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබේ.
දරිද්‍රතාව, අසමානතාව සහ සමාජ ආරක්ෂාව
ආර්ථික වර්ධනය පමණක් සංවර්ධනයේ ප්‍රමාණවත් දර්ශකයක් නොවේ. ආර්ථික ප්රතිලාභ සමාජයේ විවිධ කණ්ඩායම් අතර සාධාරණ ලෙස බෙදී යාම ද වැදගත්ය. එබැවින් වසර දෙකකදී දුප්පත් සහ අවදානම් කණ්ඩායම් සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂණ පද්ධතියක් ශක්තිමත් කිරීම අවශ්‍ය වේ. බ්‍රසීලයේ Bolsa Família වැඩසටහන මේ සම්බන්ධයෙන් වැදගත් උදාහරණයකි. Bolsa Família යනු බ්‍රසීල රජය ක්‍රියාත්මක කරන අඩු ආදායම්ලාභී හා දුප්පත් පවුල් සඳහා වූ සමාජ ආරක්ෂණ වැඩසටහනකි. මෙහි දී සුදුසුකම් ලබන පවුල්වලට මුදල් ආධාර ලබාදෙන අතර, දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, සහ එන්නත්කරණය වැනි මානව සංවර්ධන අවශ්‍යතා සමඟද එය සම්බන්ධ කර ඇත. එබැවින් Bolsa Família යනු දුප්පත්කම අඩු කිරීම, සමාජ අසමානතාව අවම කිරීම, සහ මානව ප්රාග්ධනය වර්ධනය කිරීම සඳහා භාවිත කරන සමාජ ප්‍රතිපත්ති මෙවලමක් ලෙස සැලකිය හැකිය. මුදල් ආධාරය පමණක් නොව, අධ්‍යාපනය, සෞඛ්‍යය, සහ දරුවන්ගේ මානව ප්රාග්ධනය සමඟ සම්බන්ධ කළ සමාජ ආරක්ෂණ ප්‍රවේශයක් එමගින් වර්ධනය කරන ලදී. එවැනි අත්දැකීම් පෙන්වා දෙන්නේ සමාජ ආරක්ෂණය තාවකාලික සහනාධාරයක් ලෙස නොව, දරිද්‍රතාවේ පරම්පරාගත ප්රතිනිෂ්පාදනය අඩු කරන සංවර්ධනීය මෙවලමක් ලෙස සැලකිය යුතු බවයි.
පාරදෘශ්‍යභාවය, වගවීම සහ දූෂණ විරෝධී පාලනය
ආණ්ඩුවක බලය පිහිටුවා වසර දෙකක් ගතවන විට තවත් වැදගත් අපේක්ෂාවක් වන්නේ රාජ්‍ය බලය භාවිත කිරීමේ පාරදෘශ්‍යභාවයයි. රාජ්‍ය ආදායම් සහ වියදම්, රාජ්‍ය ප්‍රසම්පාදනය, රාජ්‍ය ව්‍යාපෘති, සහ රාජ්‍ය ආයතනවල තීරණ ගැනීමේ ක්‍රියාවලිය ජනතාවට නිරීක්ෂණය කළ හැකි විය යුතුය. බංග්ලාදේශයේ ඉලෙක්ට්‍රොනික රාජ්‍ය ප්‍රසම්පාදනය (electronic government procurement) ක්‍රමවේදය රාජ්‍ය ප්‍රසම්පාදනයේ කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය වැඩි කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම පිලිබඳ උදාහරණයකි (World Bank, 2023). එවැනි ක්‍රමවේදවල වැදගත්කම වන්නේ දූෂණයට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම පමණක් නොව, දුෂකයින්ට දඬුවම් කිරීම පමණක් නොව දූෂණයට ඇති ආයතනික අවස්ථා අඩු කිරීමයි. මෙහිදී “නීතියේ ආධිපත්‍යය” ද මූලික වේ. ආණ්ඩුවක් තම දේශපාලන අවශ්‍යතා අනුව නීතිය තෝරාගෙන භාවිත කරනවා වෙනුවට, ආණ්ඩුවද නීතියට යටත් බව ආයතනික වශයෙන් තහවුරු කළ යුතුය. අධිකරණ ස්වාධීනත්වය, විගණනය, පාර්ලිමේන්තු අධීක්ෂණය, ස්වාධීන කොමිෂන් සභා, සහ තොරතුරු සඳහා පුරවැසි ප්‍රවේශය එහි අංග වේ.
ප්රජාතන්ත්රවාදය ඡන්දයෙන් ඔබ්බට ගෙන යාම
ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් වසර දෙකක් තුළ කළ යුතු තවත් වැදගත් කාර්යයක් වන්නේ මැතිවරණයෙන් ලබාගත් ජනවරම දෛනික පාලනයේ සහභාගීත්ව ප්රජාතන්ත්රවාදයක් බවට පරිවර්තනය කිරීමයි. ඒ සඳහා මහජන උපදේශන, පුරවැසි සංවාද, සහභාගිත්ව අයවැයකරණය, ප්‍රාදේශීය මට්ටමේ තීරණ ගැනීම, සහ ඩිජිටල් පුරවැසි මදිහත්වීම් වැනි ක්‍රම වර්ධනය කළ හැකිය. මෙහිදී ප්‍රාදේශීය ආණ්ඩුකරණයට විශේෂ වැදගත්කමක් හිමි වේ. මන්ද පුරවැසියාට රාජ්‍යය වඩාත් සමීපව අත්විඳිය හැක්කේ ප්‍රාදේශීය මට්ටමේදීය.එබැවින් ප්‍රාදේශීය ආණ්ඩුවල මූල්‍ය හැකියාව, සේවා සැපයීම, පුරවැසි සහභාගීත්වය, වගඋත්තරබැඳීම/වගවීම, සහ පාරදෘශ්‍යභාවය ශක්තිමත් කිරීම ජාතික ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමේ කොටසක් ලෙස සැලකිය යුතුය.
අධ්‍යාපනය, සෞඛ්‍යය, සහ මානව ප්රාග්ධනය
වසර දෙකක් තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි දිගුකාලීන ක්ෂේත්රවල සියලු ගැටලු විසඳිය නොහැක. එහෙත් ප්‍රතිසංස්කරණයේ දිශාව පැහැදිලි විය යුතුය. පාසල් හා රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම පමණක් නොව, ඉගෙනුම් ප්‍රතිඵල, ගුරු පුහුණුව, සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය, ඖෂධ සැපයීම, සහ ඩිජිටල් සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා වැනි අංශවල පද්ධතිමය ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. බංග්ලාදේශය වැනි රටවල අධ්‍යාපනයට ප්‍රවේශය සහ මානව සංවර්ධන දර්ශකවල දිගුකාලීන ප්‍රගතිය දැකිය හැකි වුවද, ප්‍රවේශය පමණක් ප්‍රමාණවත් නොවන බවත් සේවා ගුණාත්මකභාවය තීරණාත්මක බවත් එම අත්දැකීම් පෙන්වා දෙයි (World Bank, 2023).
දේශපාලන සංස්කෘතිය සහ රාජ්‍ය ආයතන
ආණ්ඩුවක වසර දෙකක කාර්යසාධනය භෞතික ව්‍යාපෘති ගණනින් පමණක් මැනිය නොහැක. දේශපාලනයේ ස්වභාවය ද වෙනස් වී තිබේද යන්න විමසිය යුතුය. දේශපාලන පක්ෂය, ආණ්ඩුව, සහ රාජ්‍යය අතර වෙනස පැහැදිලි වීම, රාජ්‍ය සේවය වෘත්තීයමය වීම, පොදු සම්පත් දේශපාලන අනුග්‍රහය සඳහා භාවිත නොකිරීම, සහ පුරවැසියාට ආණ්ඩුව විවේචනය කිරීමට ඇති අවකාශය ආරක්ෂා කිරීම ප්රජාතන්ත්රවාදී පාලනයේ මූලික අංග වේ. මෙහිදී හොඳ ආණ්ඩුවක් යනු තමන්ගේ පාලන කාලය තුළ පමණක් ප්‍රතිඵල ලබාදෙන ආණ්ඩුවක් නොව, තමන්ගෙන් පසුව පැමිණෙන ආණ්ඩුවකට වඩා ශක්තිමත් රාජ්‍ය ආයතන පද්ධතියක් සහ හරයාත්මක ආණ්ඩුකරණ සංස්කෘතියක් භාරදෙන ආණ්ඩුවකි.
මේ අනුව ආණ්ඩුවක බලය පිහිටුවා වසර දෙකක් ගතවන විට සිදුවිය යුතු සාධනීය වෙනස්කම් පිළිබඳ සාකච්ඡාව “ආණ්ඩුව කොපමණ වැඩ කළේද?” යන සරල ප්‍රශ්නයකට සීමා කළ නොහැකිය. වඩාත් වැදගත් වන්නේ රටේ දිශාව වෙනස් වී තිබේද, රාජ්‍යය කාර්යක්ෂම වී තිබේද, සපලදායී වී තිබේද, ආර්ථිකය නිෂ්පාදනශීලී වී තිබේද, ජනතාවගේ දෛනික ජීවිතයට පහසුවක් සහ වෙනසක් දැනෙන්නේද, සහ ප්රජාතන්ත්රවාදී ආයතන ශක්තිමත් වී තිබේද යන්නයි. ගෝලීය දකුණේ අත්දැකීම් පෙන්වා දෙන්නේ සංවර්ධනය ක්ෂණික දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවයි. වියට්නාමයේ ආර්ථික පරිවර්තනය, බ්‍රසීලයේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති, බංග්ලාදේශයේ ඩිජිටල් රාජ්‍ය ප්‍රසම්පාදනය, සහ ඉන්දුනීසියාවේ පුරවැසි ප්‍රතිචාර පද්ධති වැනි අත්දැකීම් විවිධ වුවද, ඒවා අතර පොදු පාඩමක් තිබේ. එනම් ප්‍රතිපත්ති, ආයතන, සම්පත්, සහ පුරවැසි සහභාගීත්වය එකිනෙකට සම්බන්ධ කළ විට පමණක් දේශපාලන ජනවරම සැබෑ සමාජ ප්‍රතිඵල බවට පරිවර්තනය කළ හැකිය.
ඒ අනුව වසර දෙකක් යනු ආණ්ඩුවක අවසාන ප්‍රතිඵලය මැනීමට ඇති කාලයක් නොව, එම ආණ්ඩුවේ පාලන දිශාව, සහ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල පෙනෙන්නට පටන් ගත යුතු කාලයකි. සාර්ථකත්වයේ සැබෑ මිනුම වන්නේ ආණ්ඩුව විසින් ඉදිකළ ව්‍යාපෘති සංඛ්‍යාව නොව, ජනතාවගේ ජීවන තත්ත්වය, රාජ්‍ය ආයතනවල ගුණාත්මකභාවය, ආර්ථික අවස්ථා, සහ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය කෙතරම් ශක්තිමත් කර තිබේද යන්නයි. එබැවින් ආණ්ඩුවක වසර දෙකක කාර්යසාධනය සාරාංශ කළ හැක්කේ එක් මූලික ප්රශ්නයකිනි. එනම් “ආණ්ඩුව රටේ ගැටලු කිහිපයක් විසඳුවාද?” යන්නට වඩා, “ආණ්ඩුව විසින් ගැටලු විසඳිය හැකි වඩා ශක්තිමත්, සාධාරණ, සහ වගකීම් සහිත රාජ්‍යයක් ගොඩනැගීම ආරම්භ කර තිබේද?” යන්නයි. එය බරපතල මූලධාර්මික සහ අනාගතවාදී ප්‍රශ්න කිරීමකි. ආණ්ඩුවක් තමන්ව තක්සේරු කරගැනීම සඳහා ආණ්ඩුව විසින් ආණ්ඩුවෙන්ම අසාගත යුතු ප්රශ්නයකි.
වැඩි දුර විමර්ශන සඳහා:
World Bank. (2023). Bangladesh: A fifty-year partnership in development achievements. World Bank.
World Bank. (2023). Bangladesh: Country partnership framework. World Bank.
World Bank. (2024). The World Bank in Vietnam: Overview. World Bank.
World Bank. (2025). Sri Lanka public finance review. World Bank.
World Bank. (2025). Sri Lanka development update. World Bank.
United Nations Development Programme. (2023). Governance for sustainable development. UNDP.
United Nations Development Programme. (2024). Local and urban governance. UNDP.
Comments (0)
Sign in to leave a comment
No comments yet. Be the first to comment!