ලංකාව දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමත් සමග මෙහි දේශපාලනයේ නියැලෙන සෑම පාර්ශවයක්ම පාහේ "ආපදාවේ දේශපාලනයක්" පිළිබඳ අදහස් පළ කිරීමට පටන්ගත් අයුරු අසන්නට හා දකින්නට ලැබිණි. එම චෝදනාවෙහි සරදම් සහගත බව වන්නේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද මේ චෝදනාව එකිනෙකාට එරෙහිව එල්ල කර ගැනීමයි. ඒ කෙසේ වෙතත් මේ සංවාදයෙහි කේන්ද්‍රීය දවසක් බවට පත්වූවේ නොවැම්බර් 12 දාය.
එදින ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මෙම ආපදා තත්ත්වය පිළිබඳ පෙර දැනුම් දීමක් සිදු කළ බවට එක් පාර්ශවයක් කරුණු දැක්වීම මෙම සංවාදයට නිමිත්ත විය.ඒ අනුව අනෙක් පාර්ශවයේ මතය වූවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ එම ප්‍රකාශය එවැනි කරුණු දැක්වීමක් ලෙස නොසැලකිය හැකි බවය
ඒ කෙසේ වෙතත් මෙයින් ඇරඹුනු සංවාදය හේතු දෙකක් නිසා වැදගත්ය.පළමුව මෙම සංවාදය මගින් පැවසෙන පරිදි මෙකී ආපදාව පිළිබඳ කරුණු සහ පූර්ව අනතුරු හැගවීම් සිදුව තිබියදී වගකිවයුත්තන්ගේ අවධානය අනතුරෙහි පරිමාණයට සෑහෙන තරමින් යොමු නොවූවේද යන්න හදුනා ගැනීමත් , එසේ යොමු නොවූවේ නම් ඒ කෙරෙහි බලපෑ ව්‍යුහාත්මක ගැටළු කවරේදැයි හදුනා ගැනීමත් සදහාය. 'ආපදාවේ දෙශපාලනය' පිළිබද සංවාදය අදාළ වන්නේ ඒ හදුනා ගැනීම සහ එහිලා අවශ්‍ය කෙරෙන ව්‍යුහාත්මක විසදුම් හා ප්‍රතිසංස්කරණ සදහාත්ය.එසේ නොමැතිව බල පෙරළියක් හෝ බලය තහවුරු කරගැනීමක් සදහා වන බල දේශපාලන න්‍යාය පත්‍රයක් සදහා නොවේ.
ආපදා තත්ත්වය පිළිබඳ පූර්ව දැනුම් දීමක් සිදුව තිබේදැයි සිදු කෙරෙන සංවාදය නොවැම්බර් 12 වැනදා රූපවාහිනී වැඩසටහන කේන්ද්‍රගතව
සිදු වන නමුත් එම දැනුම් දීම වෙනත් මාධ්‍ය අවකාශයන් කිහිපයකම ඒ ආසන්නයේ සිදුවන අයුරු නිරීක්ෂණය වේ.BBC යනු එබදු එක් නාලිකාවකි. ඒ හැරුණු විට සාමාන්‍ය පුරවැසියන් වන සමාජ මාධ්‍ය පරිශීලකයන් පවා තම සමාජ මාධ්‍ය ගිණුම් මගින් මේ අවධානම් හැගවීමේ පුවත් පළ කර තිබිණි.
එහෙත් මෙවැනි අනාවරණයන් පිළිබඳ ආණ්ඩුව මෙතෙක් දක්වා ඇත්තේ නිෂේධාත්මක ප්‍රතිචාරයන්ය.
ජාත්‍යන්තර ජනමාධ්‍ය මගින් සිදු කර ඇති පූර්ව අනාවරණයන් සම්බන්ධව පහසුවෙන්ම ලිස්සා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර රට තුළ මාධ්‍ය මගින් කර තිබූ අනාවරණයන් මග හැර ගියේ නිළ වශයෙන් දැනුම් දීමක් සිදු නොවූ බව ප්‍රකාශ කරමිණි.
ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රී තුමිය මෙම ස්ථාවරය අවධාරණාත්මකව ප්‍රකාශ කරමින් දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් එවැනි ප්‍රකාශ හදුන්වා දුන්නේ විපක්ෂයේ කැත දේශපාලන ප්‍රකාශ ලෙසයි.
වැඩිදුරටත් ඇය මෙසේ ද කියා සිටියාය.
"නොවැම්බර් 12 වැනි දා අවවාදයක් නිකුත් වූ බවට මෙතැන මන්ත්‍රීවරුන් කිහිප දෙකක්ම අදහස් පළකළා.
දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ විශාල කාලගෝට්ටියකුත් කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කළා ,රජය ක්‍රියාත්මක වුණේ කියල.
මම අභියෝග කරනව, නොවැම්බර් 12 වැනි දා මොකක්ද ආපු අවවාදය කියල මෙතැන කියන්න."
ආණ්ඩුවේ සියලු ප්‍රකාශකයන්ගේ ස්ථාවරය එය විය
එහෙත් නොවැම්බර් 12 දිනය වන විට ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි අධික වර්ෂාපතනය පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හගවා තිබූ බවත්, එය මෙරට අවදානම් කලාපයන්හි සූදානම් ක්‍රියාවලියක් ආරම්භ කිරීමට හේතු විය යුතුව තිබූ තත්ත්වයක් බවත් රට තුළ මෙන්ම රටෙන් බැහැර ද ප්‍රබල මතයක් මේ වන ගොඩ නැගී ඇත.
එම තත්ත්වය පැහැදිලි කරන අපූරු සාධකයක් වූවේ මෙරට සාමාන්‍ය පුරවැසියන් පවා සමාජ මාධ්‍ය ජාලා පරි ශීලකයන් ලෙස තම සමාජ මාධ්‍යය අවකාශයන් තුළ පවා මෙම තත්ත්වය පිළිබඳ අවවාදාත්මක ප්‍රකාශ හුවමාරු කර ගනිමින් සිටීමය. උදාහරණයක් ලෙස නොවැම්බර් 17 වන විටත් 24 වැනි දායින් පසු සිදු වියහැකි කාලගුණ පරිවර්තනය පිළිබඳ යම් අනතුරු හැගවීම් ෆේස් බුක් අවකාශයෙහි දක්නට ලැබිණි.
https://www.facebook.com/share/p/1AThWUqRhk/
ඔවුහු ඊට පෙර ද, නොවැම්බර් 10 දින පවා මේ වර්ධනය වන තත්ත්වය පිළිබද රටට අනතුරු හගවමින් සිටියහ.
එවැනි පසු බිමක ලංකාවෙි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු හැගවීම් සිදු නොවූවේ යැයි කියන්නේ නම් එය බරපතල තත්වයකි.
දේශපාලන ක්‍රියාකාරීන් හෝ සාමාන්‍ය පුරවැසියන් හෝ අදහස් දක්වන ස්වභාවයෙන් කාලගුණ විද්‍යා ක්ෂෙත්‍රයේ විද්වතුන්ට හෝ නිලධාරීන්ට අදහස් දැක්විය හැකියැයි හෝ අනතුරු හැගවීම් කළ හැකියැයි හෝ අපේක්ෂා නොකෙරේ. දේශපාලන ක්‍රියාකාරිකයන් සිටින්නේ සහ අදාළ ආයතන පිහිටුවා තිබෙන්නේ තමන් වෙත ලැබෙන ඉහත ආකාරයේ දත්ත හා තොරතුරු දෙස විශ්ලේෂණාත්මකව බලමින් අවශ්‍යය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහාය.
"ආපදාවේ දේශපාලනය" පාදක කර ගත් සංවාදය හටගත්තේ දේශපාලපන අධිකාරියෙන් ඉටුවිය යුතු ඒ වගකීම නිසි පරිදි ඉටු නොවන බවට කරුණු පළවීමේ හා චෝදනා නැගීමේ පසුබිමකය. එවැනි පසුබිමක් තුළ කරුණු මත පාදක වූ විවේචන හා වාද විවාද පැන නැගීම ස්වභාවික වන අතරම එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලිකාංගයක් ද වේ. අනෙක් අතින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ එකී විවේචනයන්ට ප්‍රතිචාර දැක්වීම ද සාමාන්‍ය තත්වයකි.
මෙහිදී අණ්ඩුවේ පළමු ප්‍රතිචාරය වූවේ "ආපදාවෙන් දේශපාලනය කරන්න එපා " යන චෝදනාත්මක සම්ප්‍රදායික ප්‍රකාශය වුවද එහිලා ආණ්ඩුව දේශපාලනය නොකරන බවක් පෙනෙන්නට නොතිබිණි. අනෙක් අතින් මොනම සමාජයීය සංසිද්ධියක් හෝ සංවාදයට බදුන් වීමේ දී එහි දේශපාලන මානය ඉස්මතු වීම වැලැක්විය හැකි ද නොවේ.
එහෙත් මේ පැන නැගුණු විවේචන හමුවේ , මුල් වටයේදීම ආණ්ඩුව උත්සාහ කළේ අධිකාරීවාදී ලෙස එම චෝදනා යටපත් කිරීමට උත්සාහ දැරීමය.එක් අතකින් එම තොරතුරු පළ කරන්නන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ තර්ජන එල්ල වූ අතර අනෙක් අතින් තම සමාජ මාධ්‍ය බලකා යොදා ගනිමින් වෙනත් අදහස් හා තොරතුරු පළකරන්නන්ට එරෙහි දැඩි ප්‍රහාරාත්මක මෙහෙයුමක් දියත් කරනුද දක්නට ලැබිණි.
එය කිසිසේත් ජනමතයට සංවේදී ,ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර දේශපාලන භාවිතයක් වූවේ නැත.
ආපදාවට මුහුණ දීමේදී මෙන්ම ආපදාවෙන් පසු තත්ත්වයන්ට මුහුණ දීමේදී පවා සාමූහික ප්‍රවේශයක් ගොඩනගා ගැනීමට මෙරට දේශපාලන ප්‍රජාව මේ දක්වා සමත් වී නැත.ප්‍රතිසංස්කරණ කටයුතුවලදී වේවා, අරමුදල් ගොඩනැගීමේදී වේවා, සහනාධාර බෙදා හැරීමේදී වේවා, අනාගතයට මුහුණ දීම සම්බන්ධයෙන් වේවා, තවමත් ප්‍රකට වෙමින් තිබෙන්නේ
පක්ෂ කේන්ද්‍රීය දේශපාලන න්‍යාය පත්‍රයන් මිස, සාමූහික දේශපාලන ප්‍රයත්නයක් නොවේ. මෙතරම් බරපතල සමාජ අර්බුදයක් විසදා ගැනීමට මෙවැනි කට්ටිවාදී දේශපාලන භාවිතයක් කොතරම් උචිත වන්නේ දැයි සමාජයේ අවධානයට ලක් විය යුතුව ඇත.
පවතින තත්ත්වය මගින් පිළිබිඹු වන්නේ මේ දක්වා එබදු දේශපාලන සංවාදයක් ගොඩනගා ගැනීමට ලාංකේය සමාජය අසමත්ව සිටින බවය.තම සහාය ලබාදීමේ සූදානමක් විපක්ෂයෙන් පෙන්නුම් කැරද්දී , "අනේ එපා.!:" යැයි ඍජුව පැවසීමට තරම් අණ්ඩුව මේ ප්‍රශ්නයෙහි ලා අසංවේදීව සිටින බව පෙනේ.විපක්ෂය ද මෙහි දී එදිනෙදා ගැටළු පිළිබද හඩ නැගීම කෙරෙහි පමණක් මිස ගැඹුරු හා දිගුකාලීන ගැටළු හෝ ප්‍රතිපත්තිමය විසදුම් කෙරෙහි අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට නැත.
එහෙයින් ආපදාවෙන් සති කිහිපයකට පසුව පවා රටෙහි පෙනෙන්නට තිබෙන්නේ , ආපදාවෙහි දේශපාලනයක් තිබෙන අතරම දේශපාලනයද ආපදාවකට මුහුණ දී සිටින බවය. දිට්වා ආපදාව හැරුණු විට රට මුහුණ දී සිටින සමස්ත අර්බුදයෙන් ගොඩ ඒමට නම් දේශපාලනය ද එය මුහුණ දී සිටින මේ ආපදාවෙන් මුදවා ගත යුතුය.
Comments (0)
Sign in to leave a comment
No comments yet. Be the first to comment!