
ලක්මිණී රන්දිමා (BA (Special) Chinese Language, University of Kelaniya)
චීන භාෂා ගුරුවරිය, වේල්ස් කුමරි විද්‍යාලය මොරටුව
මෙම ලිපිය කියවන පාඨක ඔබ රජයේ පාසලක 10 හෝ 11 ශ්‍රේණියේ පන්ති කාමරයකට ඇතුළු වුවහොත් එහි පිරිමි සහ ගැහැනු ළමයි ආසන්න වශයෙන් සමාන ගණනක් දැකීමට හැකිවනු ඇත. 2024 දී මෙම ශ්‍රේණි දෙකේ පිරිමි ළමයින් 316,113ක් සහ ගැහැනු ළමයින් 320,358ක් සිට බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.. ශ්‍රේණි දෙකක් ඉහළට, උසස් පෙළ පන්ති කාමරයකට ගිය විට එම චිත්‍රය සම්පූර්ණයෙන් වෙනස් වන බව නිරීක්ෂණය කල හැක. එම වසරේම 12 සහ 13 ශ්‍රේණිවල දක්නට ලැබුනේ පිරිමි ළමයින් 177,410ක් සහ ගැහැනු ළමයින් 236,033කි. ඒ අනුව උසස් පෙළට සූදානම් වන ගැහැනු ළමයින් 100කට සිටියේ පිරිමි ළමයින් 75ක් පමණි. එමනිසා සඛ්යත්මකව මෙම පිරිමි ළමුන් අඩුවන තත්වය පිළිබඳව ගැඹුරින් විමසා බැලීම වටී. මෙලෙස සිදුවන්නේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් තහවුරු කර ඇති පසුබිමකදීය.
ඉන් ඔබ්බට යන විට මෙම අසමතුලිතතාව තවත් පුළුල් වන බව නිරීක්ෂණය වේ. 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයට අයදුම් කළ පාසල් අපේක්ෂකයින් අතර පිරිමි ළමයින් 97,015ක් සහ ගැහැනු ළමයින් 149,556ක් වූහ. නමුත් විභාගය සමත්වී විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූවන් අතර පිරිමි ළමයින් 50,803ක් සහ ගැහැනු ළමයින් 95,602ක් සිටියහ. 2023/24 අධ්‍යයන වර්ෂයේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂක ස්ථානවලින් 64%ක් හිමි වූයේ කාන්තාවන්ට බව සංඛ්‍යා දත්ත වලින් පෙන්නුම් කරයි.
මෙම අධ්‍යයනය ගැහැනු ළමයින් වඩා සාර්ථක වීම පිළිබඳ අධ්‍යයනයක් ලෙස ඇතැමෙකුට පෙනෙන්නට පුළුවන එහෙත් එය එසේ නොවේ. ඔවුන්ගේ සාර්ථකත්වය දශක ගණනාවක් පුරා ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කළ මහජන ආයෝජනයේ සැබෑ ප්‍රතිඵලයක් බව පෙන්වා දිය හැකිය. නමුත් මෙතන කේන්ද්‍රීය ප්රශ්නය වන්නේ පිරිමි ළමුන් සාතිශය බහුතරයක් කලින්ම අධ්‍යාපන ප්රවාහයෙන් ඉවත්වීම සහ මෙතෙක් ඒ පිළිබඳව ගැඹුරින් ප්‍රතිපත්ත්මය වශයනේ විමසා නොබැලීමේ ගැටලුව පිළිබඳව ය.
පිරිමි ළමයි නොපෙනී යන්නේ කොතැනින් ද?
කනිෂ්ඨ ද්විතීයික පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා එක් එක් අදියර සඳහා ලබා ගත හැකි නවතම නිල දත්ත අනුව පිරිමි සහ ගැහැනු ළමයින්ගේ ගමන වගුව 1 හි දැක්වේ.
වගුව 1: අධ්‍යාපනයේ එක් එක් අදියරේ පිරිමි සහ ගැහැනු ළමයි
| අදියර | පිරිමි | ගැහැනු | ගැහැනු ළමයින් 100කට පිරිමි ළමයි |
|---|---|---|---|
| 6–9 ශ්‍රේණි, රජයේ පාසල් (2024) | 645,009 | 642,436 | 100 |
| 10–11 ශ්‍රේණි, රජයේ පාසල් (2024) | 316,113 | 320,358 | 99 |
| 12–13 ශ්‍රේණි, රජයේ පාසල් (2024) | 177,410 | 236,033 | 75 |
| උසස් පෙළට අයදුම් කළ පාසල් අපේක්ෂකයින් (2025) | 97,015 | 149,556 | 65 |
| විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූවන් (2025) | 50,803 | 95,602 | 53 |
| රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත් අය (2023/24) | 16,154 | 28,698 | 56 |
මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යාංශය, පාසල් සංගණනය 2024, වගු 4.2, 4.3 සහ 4.12; විභාග දෙපාර්තමේන්තුව, අ.පො.ස. (උ.පෙ.) 2025 අපේක්ෂකයින්ගේ කාර්ය සාධනය, වගුව 3; විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, Sri Lanka University Statistics 2024, වගුව 02-01. පිරිමි ඇතුළත් කිරීම් ගණනය කළේ මුළු ඇතුළත් කිරීම්වලින් කාන්තා ඇතුළත් කිරීම් අඩු කිරීමෙනි.
ඉහත දත්ත අනුව සාමාන්‍ය පෙළ දක්වා පිරිමි සහ ගැහැනු ළමයි පාසල් පද්ධතිය හරහා ගමන් කරන්නේ ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාවලිනි. සමහර පිරිමි ළමයි ඊට පෙර ද පාසලෙන් ඉවත් වෙති. අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත අනුව 11 ශ්‍රේණිය දක්වා පැවැත්මේ අනුපාතය (survival rate) පිරිමි ළමයින් සඳහා 91.2%ක් වන අතර ගැහැනු ළමයින් සඳහා 95.7%කි. මෙම පරතරය 8 ශ්‍රේණියේ පමණ සිට පුළුල් වේ. එහෙත් මෙමෙ අධ්‍යයනයේ දී සිදුකරන ලද නිරීක්ෂණය අනුව වඩාත්ම තියුණු පහත වැටීම සිදු වන්නේ සාමාන්‍ය පෙළෙන් පසුව ය. 2024 දී 10 සහ 11 ශ්‍රේණිවල සිටි පිරිමි ළමයින් 100කට 12 සහ 13 ශ්‍රේණිවල සිටියේ පිරිමි ළමයින් 56කි. ගැහැනු ළමයින් සඳහා අනුරූප අගය 74කි. මේවා එකම සිසුන් පිරිසක් කාලයත් සමඟ අනුගමනය කර ලබා ගත් දත්ත නොව එකම වසරේ ගණන් කිරීම් වන බැවින් නිශ්චිත අනුපාතයකට වඩා දළ චිත්‍රයක් ලබා දෙයි. කෙසේ වුවද, ඒවා පෙන්වන දිශාව තේරුම් ගැනීම අපට වැදගත් ය.
මෙම පරතරයෙන් කොපමණ කොටසක් පිරිමි ළමයි සාමාන්‍ය පෙළ අසමත් වීම නිසා ද, කොපමණ කොටසක් සමත් වුවද ඉදිරියට නොයාමට තීරණය කිරීම නිසා ද යන්න නිශ්චිතව අධ්‍යයනය කිරීමකින් තොරව ප්‍රකාශ කල නොහැක. නමුත් විභාග දෙපාර්තමේන්තුව සෑම වසරකම පළාත, දිස්ත්‍රික්කය, අධ්‍යාපන කලාපය සහ විෂයය අනුව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විස්තරාත්මකව පළ කරයි. එහෙත් ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඒවා පළ නොකරයි. උසස් පෙළට යන්නේ කවුරුන් දැයි තීරණය කරන විභාගය සම්බන්ධයෙන් මෙය බරපතළ අඩුපාඩුවක් බව නිරීක්ෂණය වේ.
වසරින් වසර අඩු වන පිරිමි ළමයි
ප්‍රවණතාව ද යහපත් දිශාවකට ගමන් නොකරයි. පසුගිය උසස් පෙළ විභාග හතරට අයදුම් කළ පාසල් අපේක්ෂකයින් සංඛ්‍යාව වගුව 2 හි දැක්වේ.
වගුව 2: අ.පො.ස. (උ.පෙ.) විභාගයට අයදුම් කළ පාසල් අපේක්ෂකයින්, ස්ත්‍රී පුරුෂ භාවය අනුව
| විභාග වර්ෂය | පිරිමි | ගැහැනු | පිරිමි ප්‍රතිශතය |
|---|---|---|---|
| 2022 | 114,430 | 163,013 | 41.2% |
| 2023 | 115,742 | 166,017 | 41.1% |
| 2024 | 100,839 | 152,656 | 39.8% |
| 2025 | 97,015 | 149,556 | 39.3% |
මූලාශ්‍රය: විභාග දෙපාර්තමේන්තුව, අ.පො.ස. (උ.පෙ.) අපේක්ෂකයින්ගේ කාර්ය සාධන වාර්තා 2022 සිට 2025 දක්වා, වගුව 3.
2022 සිට 2025 දක්වා විභාගවලදී අයදුම් කළ පිරිමි ළමයින් සංඛ්‍යාව 15%කින් අඩු විය. ගැහැනු ළමයින් සංඛ්‍යාව අඩු වූයේ 8%කිනි. කණ්ඩායම් දෙකම කුඩා වුවද පිරිමි ළමයින් අඩු වූයේ දෙගුණයකට ආසන්න වේගයකින් බව නිරීක්ෂණය වේ.
සාමාර්ථ ප්‍රතිශතයේ ප්රශ්නය
විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ පිරිමි පාසල් අපේක්ෂකයින්ගේ ප්‍රතිශතය 2022 දී 54.54% සිට 2025 දී 59.01% දක්වා ඉහළ ගිය අතර, ගැහැනු ළමයින්ගේ අගය 71%ක පමණ මට්ටමේ පැවතුණි. පරතරය ප්‍රතිශත ඒකක 16.4 සිට 11.6 දක්වා අඩු විය. මෙය පිරිමි ළමයි ඉදිරියට එමින් සිටින බවට සලකුණක් ලෙස බැලූ බැල්මට පෙනුනද එහි තවත් පැතිකඩක් තිබිය හැකිය. උසස් පෙළට පෙර ඉවත් වන්නේ බොහෝ දුරට සමත් වීමේ ඉඩකඩ අඩුම පිරිමි ළමයි නම්, කිසිදු පිරිමි ළමයෙකු පෙරට වඩා වැඩියෙන් ඉගෙන නොගත්තද, ඉතිරි වන පිරිමි ළමයින්ගේ සාමාන්‍ය ප්‍රතිඵල ඉහළ යනු ඇත. එනම් කුඩා වන කණ්ඩායමක ඉහළ යන සාමාර්ථ ප්‍රතිශතයක් පිටුපස වර්ධනය වන ගැටලුවක් සැඟවී තිබිය හැකිය. මෙම පැහැදිලි කිරීම් දෙකෙන් නිවැරදි කුමක් දැයි ප්‍රසිද්ධ දත්තවලින් කිව නොහැක. ඒ සඳහා වඩාත් පුළුල් අධ්‍යයනයක් සිදුකල යුතු වෙයි. එහෙත් සාමාර්ථ ප්‍රතිශතයක් එය පිටුපස සිටින අපේක්ෂකයින් ගණනින් තොරව කිසි විටෙක කියවිය නොයුතු බව මෙයින් පැහැදිලි කරගත හැක.
විභාගයට පෙනී සිටින පිරිමි ළමයින් අතර ද ප්‍රතිඵල තවමත් දුර්වල ය. 2025 දී පිරිමි පාසල් අපේක්ෂකයින්ගෙන් 11.23%ක් සියලු උසස් පෙළ විෂයයන් අසමත් වූ අතර, ගැහැනු පාසල් අපේක්ෂකයින් අතර එම අගය 7.12%ක් විය.
පිරිමි ළමයි පාසලෙන් ඉවත් වන්නේ ඇයි?
මෙම ප්රශ්නය පිළිබඳ හඳුනාගත හැකි මෑතකාලීනව සිදුවූ වඩාත්ම සවිස්තරාත්මක ශ්‍රී ලාංකික අධ්‍යයනයක් ලෙස 2021 දී World Development සඟරාවේ පළ වූ රොසානා හිමාස් (Rozana Himaz) සහ හර්ෂ අතුරුපනේ (Harsha Aturupane) විසින් කළ අධ්‍යයනය පෙන්වා දිය හැකිය. ඔවුන් පළාත් නවයේම පාසල් 72ක සිසුන්ගේ සමීක්ෂණ දත්ත භාවිත කළහ. 7 ශ්‍රේණිය වන විටත් ගණිතයෙන් පිරිමි ළමයි ගැහැනු ළමයින්ට වඩා සම්මත අපගමනයෙන් හතරෙන් එකක පමණ ප්‍රමාණයකින් පසුපසින් සිටියහ. දෙමාපියන්ගේ අපේක්ෂා, ගුරු සහාය සහ පාසල්වල ලක්ෂණවල වෙනස්කම් මගින් එම පරතරයෙන් පැහැදිලි වූයේ ඉතා සුළු කොටසකි. පිරිමි ළමයි ක්‍රීඩාවට සහ රූපවාහිනිය නැරඹීමට වැඩි කාලයක් ගත කළ අතර, පෞද්ගලික උපකාරක පන්ති සඳහා ගත කළ කාලය දෙපිරිසටම බොහෝ දුරට සමාන විය.
අධ්‍යයනයේ වඩාත්ම කැපී පෙනෙන සොයාගැනීම රැකියා වෙළඳපොළට සම්බන්ධ ය. ශ්‍රී ලංකාවේ පිරිමින් කාන්තාවන්ට වඩා වැඩි ආදායමක් උපයන අතර, පාසලේ රැඳී සිටීමෙන් අහිමි වන ආදායම පිරිමි ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳ තීරණවලට ගැහැනු ළමයින්ගේ තීරණවලට වඩා බලපා ඇත. පිරිමි ළමයි පාසලෙන් ඉවත් වීම යම් තරමකට මෙම තත්ත්වයන්ට දක්වන තාර්කික ප්‍රතිචාරයක් විය හැකි බව එම අධ්‍යයනයේ දී පර්යේෂකයින් යෝජනා කරයි. සාමාන්‍ය පෙළෙන් පසු ඉවත් වන පිරිමි ළමයෙකුට පවුලේ ව්‍යාපාරයක, අවිධිමත් රැකියාවක හෝ පසුකාලීනව විදෙස් රැකියාවක යම් ආකාරයක වැටුප් සහිත කාර්යයක් බොහෝ විට සොයා ගත හැකිය. මෙම අධ්‍යයනයේ දත්ත 2012 සිට 2016 දක්වා කාලයට අයත් වුවද, එම තත්වය පිළිබදව නිරීක්ෂණ බොහෝ දුරට අදටද වලංගු බව නිරීක්ෂණය වේ.
පාසලේ රැඳී සිටින පිරිමි ළමයි තෝරා ගන්නා විෂය ධාරාවලින් ද එම රටාව පෙනේ. 2023/24 දී විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූවන් අතර ඉංජිනේරු තාක්ෂණවේදය ධාරාවේ 88%ක් පිරිමි වූ අතර, කලා ධාරාවේ 79%ක් ගැහැනු විය. අධ්‍යාපනයේ රැඳී සිටින පිරිමි ළමයි රැකියාවකට පැහැදිලි සම්බන්ධයක් ඇති ධාරා වෙත නැඹුරු වන බව මෙයින් පෙනී යයි.
ජාතික අධ්‍යාපන පර්යේෂණ සහ ඇගයීම් මධ්‍යස්ථානය (NEREC) 2022/23 දී 4 සහ 8 ශ්‍රේණිවල සිසුන් සඳහා පැවැත්වූ ජාතික ඇගයීමෙන් ද ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස්කම් හඳුනා ගත් අතර, පිරිමි ළමයි පසුපසින් සිටින ක්ෂේත්රවල ඔවුන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට ක්‍රම සොයා බැලිය යුතු බව නිර්දේශ කරන ලදී.
එමෙන්ම 2025 දත්ත අනුව වයස 15 සිට 24 දක්වා තරුණ තරුණියන් අතර විරැකියා අනුපාතය තරුණියන් සඳහා 24.5%ක් වූ අතර තරුණයින් සඳහා 16.5%ක් විය. ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මෙමෙ දත්ත ද වැදගත් ය.
වෙනස් විය යුත්තේ කුමක් ද?
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ ඉගෙනීම විභාග කේන්ද්‍රීය බවින් මුදා ගැනීමයි. ඒ අනුව යෝජිත නව විෂය මාලාව අනුව සකස් වූ පළමු සාමාන්‍ය පෙළ විභාගය 2029 වසරේදී පැවැත්වීමට නියමිත ය. එය සාධනීය අවස්ථාවක් ලෙස අප සැලකිය යුතු බව සත්‍යයක් නමුත් පිරිමි ළමයින් අධ්‍යාපන මාර්ගයයෙන් කලින් ඉවත්වීම සැලකිල්ලට ගනිමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් සමාලෝචනය කිරීම සහ එම ගැටලුවට පිළියම් යෙදීම සඳහා ස සුදුසු ක්‍රියාමාර්ග ගන්නේ නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වඩාත් අර්ථාන්විත වනු ඇත. ඒ සඳහා පියවර හතරක් උපකාරී වනු ඇති බව නිරීක්ෂණය වේ.
අධ්‍යයන මාර්ගයයෙන් අහිමි වන පිරිමි ළමයින් ගණන් කිරීම. විභාග දෙපාර්තමේන්තුව විසින් සෑම වසරකම ස්ත්‍රී පුරුෂ භාවය අනුව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පළ කළ යුතු අතර, 11 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණියට සිසුන් ඉදිරියට යාම ස්ත්‍රී පුරුෂ භාවය සහ දිස්ත්‍රික්කය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළ යුතුය. නිසි මැන බැලීමකින් තොරව ගැටලුවක් කළමනාකරණය කළ නොහැක.
11 ශ්‍රේණියෙන් පසු නොව ඊට පෙර ක්‍රියා කිරීම. පරතරය සාමාන්‍ය පෙළට පෙරම ආරම්භ වන බව පැවැත්මේ අනුපාත දත්තවලින් පෙනේ. පහත වැටෙන පැමිණීම, දුර්වල කියවීමේ හැකියාව සහ අඩු වාර විභාග ප්‍රතිඵල වැනි සරල අනතුරු ඇඟවීම් මගින් 9 ශ්‍රේණියේ සිටම අවදානමට ලක්ව සිටින පිරිමි ළමයින් හඳුනා ගත හැකිය. එවිට ඉවත් වීමේ තීරණය ගැනීමට පෙර පාසල්වලට අමතර ඉගැන්වීම් සහ පවුල් සමඟ සම්බන්ධතා මගින් නිසි ප්‍රතිකර්ම ලබා දිය හැකිය.
සාමාන්‍ය පෙළෙන් පසු මාවත වටිනා එකක් බවට පත් කිරීම. වසර 13ක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වා දුන් වෘත්තීය ධාරාවේ අරමුණ වූයේ සාම්ප්‍රදායික උසස් පෙළ මාවතේ නොයන සිසුන් අධ්‍යාපනය තුළ රඳවා තබා ගැනීමයි. එය කෙතරම් සාර්ථක වූවා දැයි යන්න පිළිබඳ ප්‍රසිද්ධ සාක්ෂි ඉතා අල්ප ය. එය ජාතික මට්ටමින් පර්යේෂණයකට ලක් කළ යුතු අතර, ප්‍රතිඵල පිරිමි සහ ගැහැනු ළමයින් සඳහා වෙන වෙනම වාර්තා කළ යුතුය. පාසල සහ වැටුපක් ආවස්ථික පිරිවැය කිරා මනින පිරිමි ළමයෙකුට විකල්පය සැබෑ ඉලක්කයක් කරා යොමු විය යුතුය.
පරතර දෙකටම එකවර විසඳුම් සෙවීම. පිරිමි ළමයින් පාසලේ රඳවා ගැනීමේ පියවර, තරුණියන්ට රැකියා වෙළඳපොළ විවෘත කරන පියවර සමඟ අත්වැල් බැඳගෙන යා යුතුය. එසේ නොවුවහොත් එය අධ්‍යාපනයට මෙන්ම සේවා නියුක්තියට ද බරපතල අහිතකර ප්‍රතිපල ගෙන දෙනු ඇත.
ගැහැනු ළමයි අධ්‍යාපනයෙන් පසුපසට නොවැටෙන බව සහතික කිරීමට ශ්‍රී ලංකාව දශක ගණනාවක් පුරා නිවැරදිව උත්සාහ කළ අතර, එම උත්සාහය සාර්ථක විය. දැන් අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් සාමාන්‍ය පෙළෙන් පසු පන්ති කාමරයෙන් පිටව යන පිරිමි ළමයින් ගැන අවධානය යොමු කළ යුතුය. ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ද ගුණාත්මක මානව සංවර්ධනයක් සඳහා ද මෙම ප්‍රතිපත්තිමය මැදිහත්වීම අත්‍යවශ්‍යව ඇත.
මූලාශ්‍ර
අධ්‍යාපන අමාත්‍යාංශය. පාසල් සංගණනය 2024: වගු 4.2 (Lower Secondary Students), 4.3 (Upper Secondary Students), 4.12 (Total Advanced Level Students), 4.16 (Survival Rate by Grade), 2.2 (Teachers). dmb.moe.gov.lk
විභාග දෙපාර්තමේන්තුව. G.C.E. (A/L) Examination 2025: Performance of Candidates, වගුව 3. doenets.lk
විභාග දෙපාර්තමේන්තුව. G.C.E. (A/L) Examination 2024: Performance of Candidates, වගුව 3. doenets.lk
විභාග දෙපාර්තමේන්තුව. G.C.E. (A/L) Examination 2023: Performance of Candidates, වගුව 3. doenets.lk
විභාග දෙපාර්තමේන්තුව. G.C.E. (A/L) Examination 2022: Performance of Candidates, වගුව 3. doenets.lk
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. Sri Lanka University Statistics 2024, Chapter 2, වගුව 02-01. ugc.ac.lk
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. Sri Lanka Labour Force Survey Annual Bulletin 2025, වගුව 3.1. statistics.gov.lk
Himaz, R., & Aturupane, H. (2021). Why are boys falling behind? Explaining gender gaps in school attainment in Sri Lanka. World Development. discovery.ucl.ac.uk
කොළඹ විශ්වවිද්‍යාලය. “National Assessment of Learning Outcomes for Grade 4 & Grade 8 Students (2022/2023).” cmb.ac.lk
Ada Derana. “2029 O/L Exam will be held under new curriculum: PM Harini.” adaderana.lk
Cover photo: “education9” (a class at Uswathun Hasana Maha Vidyalaya, Galle) by RIBI Image Library, Flickr, licensed under CC BY 2.0; cropped.
Comments (0)
Sign in to leave a comment
No comments yet. Be the first to comment!